Thursday, 28 October 2010

නෙත් මායිමේදී.....



හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දු‍ටුවාද?
කඳුළුත් සීතළේම සඟවා


කීරලෙක් හිස් අහස කම්පා 
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙ‍රැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා


ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ  හෙව්වා
උදාගිරගින් නැගී අවරින් 
ගිලී  නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..

8 comments:

  1. කීරලෙක් හිස් අහස කම්පා
    කරවමින් හැඬුවා
    පිණි කඳුළු දු‍ටුවාද?
    කඳුළුත් සීතළේම සඟවා
    ලස්සනට අදත් ලියවිලා තියනවා.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. @ මැණික්(සුළඟ)

    ජිවිතෙත් නිතරෝම මිහිරියි
    සතුට ‍රැදවේනම්
    බොහො දුරින අපි හමුවෙනා පින
    වසරකින් වේනම්
    සීත අහසට, ඈත සඳකට
    තරුවකට බැඳ පෙම්
    හමුවෙනා තුරු පියවි දෙනෙතට
    අඳිමු කවි සිතියම්

    ReplyDelete
  3. ගව් ගණන් දුර හිඳන්....
    කඳුළු සලමින් සිටින...
    දිනය ගෙවී ‍ගොස් හනික...
    උදාවනු මැනේ සොම්නස සිතට...

    ReplyDelete
  4. සාවි පැටවු දෙන්නයි
    මුව පැටවු දෙන්නයි
    තුරුලු කරන් නුඹ
    සිසිල සෙනෙහස විදින්නයි

    හද පෙළු රුදු දුක
    මට බාර දෙන්නයි
    සත් දෙනා එක් විලස
    දිවි ගමන යන්නයි

    ReplyDelete
  5. @ priyantha.ඒබී

    තනිය නොතනිය
    හිතට දැනෙනා
    විටෙක කවියක පැටලිලා
    ගව් යොදුන් දුර
    මඟ ගෙවා ගෙන
    මටත් කලියෙන් පැමිනිලා

    ReplyDelete
  6. @ wath

    ප්‍රියයන් ගේන් වියෝ වී යන එක දුකකී
    ප්‍රියයන් ‍රැදෙන්නේ නැති එක තව දුකකී
    ප්‍රියයන් වරදවා තේරුම් ගත් බවකී
    ප්‍රියයන් ලැබීමත් නම් මහඟුම පිනකී

    ReplyDelete
  7. සද මඩලේ තනි කරවා
    වෙන සෙනෙහක් සොයා
    ඔබ පියා සැලුවා

    පිය සෙනෙහෙ නොමැතිකල
    දුක් ගීය ගැයුවා
    කදුලු දු‍ටු මුදු වලා
    සද වසා ගත්තා

    ReplyDelete
  8. හා පැටව් දෙන්නා අපේ
    සද මඩලේ තනි කරවා
    වෙන සෙනෙහක් සොයා
    ඔබ පියා සැලුවා

    පිය සෙනෙහෙ නොමැතිකල
    දුක් ගීය ගැයුවා
    කදුලු දු‍ටු මුදු වලා
    සද වසා ගත්තා

    ReplyDelete