වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Sunday, 20 June 2010
විපිළිසර වී..
ඇවිත් ගියත් යළි නැවතත් එමිය කියා
පුවත් නොදැන සඳ හිරු නම් ඇවිත් ගියා
නුඹත් තවත් කඳුලක් නෙතු අගට තියා
ගියත්, සොඳුරු සිහිනෙම මම දෙනෙත් පියා
"පිපි මල් සැවොම පරවී යන නමුඳු ලොවේ
මල් පිපෙනුයේ පරවී යන්නටම නොවේ"
යනුවෙන් දෑත් බැඳුනත් ලෙස පුරුදු භවේ
ගිනිගත් මසිත තවමත් නුඹේ නමින් දැවේ
අරුමය කියා දී දිවියේ ළඟින් හිඳ
උරුමය නුඹම විය හැමදා නුවන් බැඳ
පිළියම නොදත්තෙන්, රැකවල් බිඳින ලද
කරුණුය විපිළිසර මගේ හිත මඩින ලඳ
බෝසත් ගුණ දුටින් තැන්පත් රුව ගාව
පෝසත් නොවින සිතුවිළි විසිරුනි පාව
පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ වෙනමම ලෝකෙක යාව
පාවෙන සුළඟකත් සුවඳම පතන්නෙමි
නැහෙන දුරක සිටියත් මඟ බලන්නෙමී
වෑහෙන කඳුළු සඟවා දුක දරන්නෙමි
පේවෙන මසිත නුඹ වෙනුවෙන් තබන්නෙමී