Sunday, 20 June 2010

විපිළිසර වී..




ඇවිත් ගියත් යළි නැවතත් එමිය කියා
පුවත් නොදැන සඳ හිරු නම් ඇවිත් ගියා
නුඹත් තවත් කඳුලක් නෙතු අගට තියා
ගියත්, සොඳුරු සිහිනෙම මම දෙනෙත් පියා


"පිපි මල් සැවොම පරවී යන නමුඳු ලොවේ
මල් පිපෙනුයේ පරවී යන්නටම නොවේ"
යනුවෙන් දෑත් බැඳුනත් ලෙස පුරුදු භවේ
ගිනිගත් මසිත තවමත් නුඹේ නමින් දැවේ


අරුමය කියා දී දිවියේ ළඟින් හිඳ
උරුමය නුඹම විය හැමදා නුවන් බැඳ
පිළියම නොදත්තෙන්, ‍රැකවල් බිඳින ලද
කරුණුය  විපිළිසර මගේ හිත මඩින ලඳ


බෝසත් ගුණ දුටින් තැන්පත් රුව ගාව
පෝසත් නොවින සිතුවිළි විසිරුනි පාව
පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ  වෙනමම ලෝකෙක යාව


පාවෙන සුළඟකත් සුවඳම පතන්නෙමි
නැහෙන දුරක සිටියත් මඟ බලන්නෙමී
වෑහෙන කඳුළු සඟවා දුක දරන්නෙමි
පේවෙන මසිත නුඹ වෙනුවෙන් තබන්නෙමී