Sunday, 15 August 2010

වෙනත් කවුද ඔබ මෙන් දිරි දෙනු නිබඳ..... පනස් වැනි බ්ලොග් සටහන




විසිරුනු සිතැඟි එක්තැන් කොට බැඳ තබන
සැඟවුනු සිනාවක නිමි මතකය ‍රැගෙන
බොඳවුනු සිතුවමක, නෙතු කඳුළක් දකින
ගතවුනු මාස හතරක දුර, ආ ගමන


ලියවුන යමක් වෙයි නම් කියවා බලන
යන එන ගමන් ගුණ දොස් එහෙමත් ලියන
හමුවෙන නමුත් කිසිදා දැක නැති බැවින
සටහන ඔබට වේ නිති මට දිරි දෙවන


කවදත් සොඳුරු මානෙක නිම් හිම් දන්න
ඔබවිත් සවිය දුනි කවි මඟ ඉගිලෙන්න
නැවතත් ඉඩක් ලද විට මේ දෙස එන්න
අයෙමත් විහඟ කවි, ගී අහලා යන්න......

21 comments:

  1. තවත් සුවහසක් දේ ලියන්නට නිති දිරිය පතනෙමි !!

    ReplyDelete
  2. තවත් බොහෝ අරුත්බර කවි පද වලට පණ පොවන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා යැයි පතමි....ස්තුතියි මේ රස පදවැලවලට......

    ReplyDelete
  3. බොහෝ දිගු වියුණු සටහනකට...
    ජය

    ReplyDelete
  4. විහඟුන් ගයන ගීයක ඇති රස මිහිර
    හඳුනා ගතිමි මෙහි ආ දින සිට සබඳ

    හදවත දුක දරා අප වෙනුවෙන් ගයන
    නුඹ වැනි අයවලුන් හිඟ වෙයි ලොව නිබඳ

    50ක් නොවේ තව තව ගී ගයන්න
    මගෙ ආයුෂත් අරගෙන නුඹ සිටින්න
    හදවත අදුරනා අය මුණ ගැසෙන්න
    පින් කළ නිසා ආවෙමි මුණ ගැසෙන්න

    අත දිග දුර නොවෙයි අපි සැම සිටින්නේ
    එනමුදු අපේ හදවත් මුණ ගැහෙන්නේ
    රස බර ගීත කවදත් නුඹ ගයන්නේ
    කවදද නුඹේ කවි පොත පළ කරන්නේ

    ගයනා ගීත මෙන් දිවියත් සරු වේවා
    ලියනා පදය මෙන් තාලය ගැලපේවා
    අද මෙන් හෙටත් ගීයක රස ඉපදේවා
    සැම දින සුබයි නුඹටම ජය ගෙන ඒවා

    ReplyDelete
  5. ජයවේවා.. ඉදිරියටම යමු!

    ReplyDelete
  6. ජය ජය ජය හේ ..........

    ReplyDelete
  7. හදවතින්ම සුබ පැතුම....දිගුගමනකට.....ජය හා සතුට...

    ReplyDelete
  8. ඉඩක් වී නම් හැම වෙලාවෙම අපිත් මෙහි ගොඩ වී ගියා...
    තවත් ලද ඉඩකඩක් වී නම් කොමෙන්ටුවකුත් දා ගියා...
    මාතලෙන් ජාලයට එක්වන විහග ගීතයෙ හිතවතා...
    මේක ලියුවේ ජය, සතුට, යස, ඉසුරු, සුව, කිතුගොස පතා...

    ReplyDelete
  9. තව තව ලියන්න
    අපි ඉන්නවා කියවන්න
    දිගු ගමනක් යන්න
    පතනවා සුභාසිරි මුළු හදවතින්ම.‍...

    ReplyDelete
  10. අර්ධ ශතකයට මුළු හිතින්ම සුබ පතන ගමන් නොදැවි දිගු ගමනක් යන්නට ආසිරි ගෙනෙමි...

    ReplyDelete
  11. හදවත සැලෙන රාවය ඔබ ලියන්නේ
    විරහව ආදරය කැටිකොට පද ගොතන්නේ
    දිවියට අරුත්බර සවියක් දෙවන්නේ
    විහඟෙකු ලෙසයි ඔබ කාලය ගත කරන්නේ

    තවත් රසවත් පද ඇමිණීමට ශක්තිය දහිරිය ලැබේවා.

    ReplyDelete
  12. ඇවිදින් ගියත් ඉඩ හසුවෙන දවාලට
    නුඹ නිමවනා කවි වියුමේ විලාසෙට
    දහසක් කියෙව්වත් මදි මේ පිපාසෙට
    නෑවිත් කෝම පුළු පුළුවන් වෙලාවට

    තවත් සහසක් කවි ගොතන්නට සිතුවිලි නැ‍ඟේවා!...

    ReplyDelete
  13. දිගු ගමනක් යන්න සුබ පතනව


    අනේ සමාවෙන්න ඕන,කවියක් නම් ලියවෙන්නෙම නෑ නොවැ :(

    ReplyDelete
  14. තව තවත් අපිත් එක්ක නිර්මාණ බෙදාගන්න ඔය හිතට කවි සිතුවිලි පහල වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  15. මැණික්(සුළඟ)16 August 2010 at 07:13

    විහඟ තුඩින් ගැයෙනා කවි රස මියුරු
    නිතොර මමත් වින්දෙමි සැක නැහැ මිතුරු
    ඉතිරි මගත් යන්නට මග හැර සතුරු
    කිසිදු දොසක් නොම වේවා මගෙ මිතුරු
    මැණික්(සුළඟ)

    ReplyDelete
  16. විහග ගීතයක් වී සැමදා එන්න
    අප සැම දෙසවන් නිති සනසන්න
    සිය දහසක් කව් ගී ලියවෙන්න
    ආසිරි මල් මිටක් මාගෙන් පිළිගන්න

    දිනක් ප්‍රමාද වී පැමිණ සුභ පතන්න වීම ගැන අහිතක් ඇති නොවේ යැයි සිතමි.

    ReplyDelete
  17. විහග තුඩක නංවා රැවු දී නිතර..
    ඔබ කී කවි කතා ඇසුවෙමු මා සොයුර..
    ගයනට හෙටත් අද මෙන් දී රස මිහිර..
    පතනෙමි සුභ ගමන් යන්නට නොව නතර..

    ReplyDelete
  18. තව තවත් ලියන්න දිරිය ලැබේවායි පතමි.

    ප්‍රියංගි

    ReplyDelete
  19. බුදු සරනයි!

    ධම්මි

    ReplyDelete
  20. හිතවත...
    නැගුනු සතුටු රල මිරිඟු සයුර මෙනි අතීතයේ...
    තවත් රසාලිප්ත කව් ගොතන්නට, සිත් නිවන්නට ශක්තිය ලැබේවා....

    ReplyDelete
  21. වෙනත් කවුද ඔබ මෙන් දිරි දෙන නිබඳ....

    @ malithi
    @ Shadow/හේමලයා
    @ චේජනා
    @ වත්
    @ වැම්පයර්
    @ වැප්
    @ ඉලංදාරියා
    @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    @ හසියා
    @ sansarasidu
    @ Sagara
    @ යෝගී
    @ Hasitha ජයසූරිය
    @ චමිදේවා
    @ මැණික්(සුළඟ)
    @ priyantha.ඒබී
    @ මාරයාගේ හෝරාව
    @ ප්‍රියංගී
    @ ධම්මි
    @ තිස්ස දොඩන්ගොඩ



    කඩ ඉම් පසු කරන් යන ගමනෙදි දිවියේ
    ඉඩ කඩ ලදින් නිම් හිම් සොයනා කවියේ
    වැඩ කටයුතු අතර සිරවී කඩිමුඩියේ
    හැඩ බලනා සහෘදනි කවි තනි තනියේ

    ගතවුන මාස හතරක කල හැරෙමි බලා
    සුපිපුන ඔබ සැමගේ සිතිවිළි අකුරු වෙලා
    පබැඳුන කවිය නව මඟකට එකතුවෙලා
    සටහන බොහෝ දේ මා ලඟ ඉතිරි කලා

    පදරුත් අසිරිමත් බොහො දේ ගැන දන්න
    පැමිනෙත් ලියායත් සිය අදහස් ගොන්න
    සියපත් සිනාගත් ලෙස හිත් පිබි‍ඳෙන්න
    අයෙමත් ඇවිත් සටහන් තබලා යන්න

    ReplyDelete