Friday, 23 April 2010

නික්ම යෑම














නික්ම යෑම
  


හඳේ  විකසිත වු පැතුම් මල
සුවඳ දේ තාමත්
රොදේ බැඳ ආ බොහෝ දුර
පාරවයි  සිහිවී සිත්
සඳේ තනියට පුංචි තරුවක්
වෙමි කියා කී වත්
ලදේ නුඹ ලඟ ‍රැදෙනු නොහැකිය
මෙලෙස හැමදාමත්......


ඔහේ අරමුණු නොදැන, නොමැතිව,
මඟ ගෙවා ආවත්
ඉහේ පිපි මල නුඹය එදවස
සදා දී මා නෙත්
කොහේ සැඟවී ගියත් සුපසන්
සෙනෙහෙ වී සුනරුත්
ඇසේ සුමියුරු තෙපුල්, ගී, කවි
එදා මෙන් තාමත්....


දොඩා කළ කී දෑ සියල්ලට 
තබා අවසන් තිත්
විඩා බර නෙතු පුරා කඳුලින්
සමු දෙන්න සිතුවත්
වඩා දුක නෙතු වලට විතරද
සෝ දුකිනි හදවත්
හඬා පියමං කරමු දෙපසට
පාරවා මුඳු සිත්..


සි. එස් බණ්ඩාරනායක

5 comments:

Anonymous said...

වෙන්ව ගිය අය යළි දකින්නට
නෙතේ ඇත ආශා
නමුදු සැක ඇත පරව ගිය මල
යළි ඒද පුබුදා
හදේ සුවඳයි නේතේ කඳුළයි
මතක මං පාරා
ආවොතින් මා නුබ දකින්නට
වේද මා වරදා

විහඟ ගීතය said...

හදේ සුසුමත්, නෙතේ කඳුළත්
තියා මා හැරදා
ගියද.. නුඹ මා මතක
මංපෙත් අතර මැද හිඳුවා...

පිපෙන පෙම් මල පුබුදුවා
යලි නොයන ලෙස හැරිලා
හැරෙනු ආපසු සිතැත්තේ නම්
දොර තාම ඇරලා.

දැලි පිහිය said...

දොඩා කල කී දෙයට අපතැබු නමුත් සැමදා තිත්
එදා අප කල කීව දේවල් දනී අපගේ සිත්
දුකින් තොර වූ ලෝකයක් ගැන සිතන්නට හෙට වත්
යලිත් එන්නෙමි ඔබ සොයාගෙන් ඔබ කොහේ සිටි යත්

ඔබතුමාගෙ කවි හැකියාව අගය කරමි...ඒ කවි රස වින්දෙමි!
මගේ මේ ප්රාථමික කවි ලියා විහග ගීතය හැඩි කලා නම් සමා වෙන්‍ට

දැලි පිහියා

විහඟ ගීතය said...

@ දැලි පිහියා

දැලි පිහියා ඇවිත්
ලිවූ දෑ හරිම රසවත්
ඉල්ලීම බලවත්
අනේ මාගේ බො‍ටුව නොකපත්

තරහා නොම ගන්නයි
ලබැඳි සිත් ඇති වෙන්නයි
ගුණදොස් දකින්නයි
අයෙත් මේ දෙස ඇවිත් යන්නයි.

Anonymous said...

මතක අමතක කරන මන්ත්‍රය
දන්නවා නම් සිත්
රිදුම් දෙන්නෑ මේ විලස නුඹ
පාරවා පෙම් සිත්

නුඹයි නුඹගේ ප්‍රේමයයි
ඇගෙන් දුර වූවත්
ඇයයි ඇය ළඟ රැදි පුතුයි
විහිදන්නෙ නුඹ සුවඳයි