Thursday, 26 May 2011

මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම



ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ
එයින් බොහෝ කලකට පසුවත් නො එන
කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ
සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන


සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම
ගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟම
උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම
මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම


පියා සලා දැක මල්වතු උයන් දොරින්
නියාමය නොවූවත් නොපනතෙහි ලොබින්
ගියාවද නුඹම, නැතිනම් ‍රැගෙන ගොහින්
කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින්


තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට
දැනුනත්, අහලකින් ඇස් මායිමෙන් පිට
නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට
සැනසෙත්,නුඹත් ඒ බව නම් දැනේ මට.


කල්බලා හිඳන් මල්සර විදි  දුන්නේ
සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ
වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ
දන්වලා එවනු! මෙහි කවදද එන්නේ..... 
කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු