සිතුමිණ සොබාවා
මාසිත පහන් වූවා
ඒ එළිය ගාවා
තව සිතක් බැබළෙමින් වූවා
පෑදී දිය ලෙසින්
දුටුවත් මහරු විලසින්
බොර දියට හැරෙමින්
බොඳවුණේ ඇයි සිත හඬවමින්
සිහින් මඳ නැල්ලේ
අසිරියෙනි නැළවිල්ලේ
තනිව ළතැවිල්ලේ
හැඩූ කඳුළිනි සිත තැවිල්ලේ
සිහිනෙන් ගෑ සුවඳ
සුවදේ නිදියනා සඳ
ඇහැරී සිහින මැද
සොයන්නේ ඇයි ඒ සුවඳ පොද
නුඹේ නමට කැපවී
ඒ සිහිනයෙම රැඳවී
ලැබූ පිය පදවී
තබා මාළඟ කොහිද සැඟවී
නොවී සිත එකලස්
හැඬූවද කදුළින් රොස්
බැඳි පෙමෙහි අනුහස්
වලින් හඬනා හිතද වේ තොස්
තුටින් මඟ බලමී
එනතුරු ඇඟිලි ගනිමී
පුදුමෙකට නොනිමී
ඇඟිලි අතරෙහි දවස් හරිමී...
4 comments:
නියම කවි ටිකක්නෙ තියෙන්නෙ. අවුරුද්දකුත් ගිහිල්ල අදයි දැක්කෙ. අභීතලා වගේ මගේ යාලුවෝ මෙකේ යාව ජිව සාමාජිකයොනෙ. හීමීට ඔක්කොම කියනවන්නයි හිතාගෙන ඉන්නෙ....
@ බුද්ධි
නෑසූ ලෙස විහඟ ගී වසරක් සපුරා
මම නොදුටුවේ ඇයි මේ සිත්තර කුමරා
"මවුසය" හුරුබුහුටි තාලෙට ඇත හසුරා
තව තව අදින්නට ශක්තිය දෙයි ඉදුරා
නෙක හැඩින් ඔප මුතු පෙල
නෙක පැතිවලින් වට එළ
විසිතුරු රැස් විහිඳන කල
විඩාව සිප්කරුගේ යටවෙන
කවිපන්තියේ මේ කාණ්ඩය ගොඩාක් සිත්ගත්තා:
තුටින් මඟ බලමී
එනතුරු ඇඟිලි ගනිමී
පුදුමෙකට නොනිමී
ඇඟිලි අතරෙහි දවස් හරිමී...
@ ගල්මල්-Coral
ඇවිත් හැමදාම කවි ටික කියවාම
ලියත් සටහනක් මෙහි නොවරදවාම
වියත් සහෝදරයානෙනි මෙහි ඒම
මහත් සතුටකිය බැහ එය නොකියාම
Post a Comment