Monday, 2 May 2011

හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ




තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ
කොනිත්තන්න වත් මතකය මට නූයේ
විපත්තිනම් එක පිට එකමයි වූයේ
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ


ඇවිත් යන්න එනවා කියලා ගියද
අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද?
නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද
කවිත් එපා වෙන්නට අරුමය කිමද


ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට
මිදිත් තිත්ත බව නොකියා කීවාට
කලුත්ගොස් කේජු රස නැති වූවාට
හෙනත් ගැසුවේද පැණි වරකා ගහට


කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව
ගියත් බොහෝ දුර කිරි කළ බිම හැළුව
තවත් පමා නැහ, කොක්කුන්ගෙන් දුරුව
ඇවිත් ගියා නම්.... ! දැන් ඇති කල් බැලුව.


කවි සොයා බලමු,
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු,
තවත් අය හා බෙදා ගනිමු 

3 comments:

Chandi said...

හරිම ලස්සන සිතුවිල්ලක්. මෙලොව එළිය වන එකම ශක්තිය හිරු නේද? හිරු නොපායන ලොවක ඇති අඳුර කොහොම විඳින්නද? හැම පදයක්ම අලංකාරව ලියවෙලා තියෙනවා.යළිත් හිරු පායා ඔබේ ලොව දිනේවා! ඔබට ජයම පතනවා.

ගල්මල්-Coral said...

ගහට කොළට හරිත පාට දෙන්න
ඉතිඅග මල් පොඩි පැණි පිරෙන්න
අඳුරු අඩට සඳකැන් ගෙනෙන්න්
දැවුවත් සැඩ කිරණින් හිරු පායන්න

විහඟ ගීතය said...

@ Chandi
@ ගල්මල්-Coral

ඇවිත් ගොස් බොහෝ කල් ගත වී ගියද
නිමිත්තට ආව බව සදහන් කලද
අමුත්තකි මෙමට එය පැනයක් නොවෙද
කවිත් එපාවෙන තරමට වැඩ නිබඳ,

දවස් ගෙවෙන අතරෙහි පෙර පුරුදු ලෙසින්
ඇවිත් යන්න බැරි විය වැඩ අධික වුයෙන්
නමුත් නිරතුරුව මෙහි අපි හමුවූ සෙයින්
තවත් දවසකට හොද හිත එකතු කරන්