හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී
රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී
නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා
දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණාටුව හද දොර හරී
පියාඹන විහඟුන් රැහේ
යළිඳු එයි රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත් මෙහේ
බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා
16 comments:
හිරුත් පරුසව දවද්දි
බිම්කඩ පාලු විය
විහඟුන් ඈතට ගියාද
සොයනා පරවිත් නොවිය
සිහිනෙන් වත් සඳුන්
ගෑවෙත් නම් සිසිලකි
සිහිනෙන් වත් පෙලක්
කවිය දැක සතුටකි
හැමදාම වගේ ලස්සනයි මේකත්
හැමදාම මෙහෙම දුක කියා කවි ලියා
ඉන්න නමි අනේ මෙි විහග ගී කියා
සනසන්න ලංවෙලා මිහිරි ගී ගය ගයා
පතන්නමි ඉක්මනින් හමුවන්න ඒ පි්රයා
@ ගල්මල්-Coral
ගතත් සිතත්
හුදකලාවෙ
තනිය විදී නම්
නෙතක් කඳුළු
පුරවාගෙන
දුකට හඬා නම්
කෙනක් පෙනෙන
මායිම දුර
වහන් කලා නම්
කවක් විහඟ
ගීයක් වී, අරුත
සොයා දෙම්,
@ මාතලන්
ලියා නේක පදරුත් විමසමින් ඉඳ
කියා ගන්න පෙර තවලිපි වැලක් ඇද
පියා ගෙන දැස් ඔබ සිහි කරණ සඳ
ඔවා දීම නම් මට සතුටකිය සොඳ
@ Chandi
දුක විඳිනට පුරුදු වූ කල සැනසිල්ලේ
එක දෙක නොවේ බළ ඇණියක් වුව සෙල්ලේ
මොකටද බොරු කතා කියනෙමි එක එල්ලේ
දුක නැති තැනක විඳිනට සතුටත් "ඉල්ලේ"
නොපිරූ සෙනෙහසින් ලද දුක් කඳුළු ගඟේ
කාලය ගෙවුන යුරු යලි මා සිතට නැගේ
මුළු ලොව එපා වී හද සෝ සුසුම් නැගේ
විරහව දුකයි!!!! ඇත්තට සංසාරෙ වගේ
හදවත තවන දුක!!! විරහා ගිනි දල්ලේ
එකලදි දැනුනි! අද හිටියත් සැනසිල්ලේ
ඔබෙ කවි බොහෝ කියවූයෙමි එක එල්ලේ
විටකදි සිතේ..... අපි පොල් මෙනි එක වල්ලේ
Wihga gitaya dan goluwala
aya noyannma nihada wala...........
Aya me hamadayakma matakayan witara.
මරණින් මතු යහපත් බවයක්ම ලැබේවා හිතවත් සොයුර...
මගේ කවි වලට ගුරු වරයෙක් වූ ඔබට නිවන් සුව පතමි.
නිවන් සුව පතමි.. මම දැනුයි දැන ගත්තේ..... හිතා ගන්න බෑ....
නිවන් සුව පතමි..
බ්ලොග් අවකාශයේ මා දුටු හොඳම සිංහල එලිසම කවියා ඔබයි!
නිවන් සුව පතමි.
උපදින මතු අත්බවයක නිවන් සුව ලබා ගත හැකිවේවා ඔබට . ..
Post a Comment