ගන දුර හැලෙන රෑ පින්නේ පැලට වෙලා
අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා වෙලා
පැදුරට වැටෙන කදුලක බර එකතු වෙලා
සීතල සුලග ඇයි මේ හැටි නපුරු වෙලා
කඳු යායට උඩින් අඬ සද බැස ගොසිනී
මූසල රෑහි හඩ නැග එයි තුරු මතිනී
ලග සිටි නුඹත් මා ලග අද නැති බැවිනී
එක සද නොවේ සියයක් බැස ගියා වැනී
පැල තුල වැතිර සීපද කිව්වා එකට
යායක ඉරිගු මල් පිපුනා නොවැ අපට
කොයි? ඒ ගී සින්දු අද නැහැ අහලකට
හීනෙන් මිසක නොපෙනේ දැන් නුඹව මට
වැව් දිය පතර මල් නෙලලා මා අතට
දුන් නුඹ නිසා මල් පිපුනා මා හිතට
මා තනි වූවත් අද පැල තුල කල පවට
මේ මල් තවම පූදින්නේ නුඹේ නමට
සුලගේ සුසුම් හඬ නුඹටත් ඇහෙනවද ?
අහසින් වැටෙන කදුලක් හෙම පෙනෙනෙවද ?
සීතල ඇවිත් ගේ දොරකඩ සිටිනවද ?
මට මෙන් නුඹට එතකොට දුක හිතෙනවද ?
අඳුරත් පාළුවත් උහුලනු බැහැ මෙමට
නුඹ දැල්වූ පහණ අද නැහැ පැල තුලට
දහසක් හැගුම් උපදිනවා කළුවරට
නුඹ නැති හෙටට හිරු පායන්නේ කුමට
14.06.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්