Tuesday, 10 August 2010

බිඳුනු සිතුවිළි



 රිදුනු සිත සාදා
බිඳුනු සිතුවිළි සෝදා
‍රැ‍ඳෙනු  පින සාදා
හිඳිනු අත් බැඳ මඟ නොවරදා


සිතුම් බොඳ වූවයි
හැඟුම් බර වැඩිවේ මැයි
ඇඬුම් දුක බෝමයි
පැතුම් මල් හැමදාම පීදෙයි


ඇන බැන අඬගසා
පැන පැන නපුරු විලසා
ගුණ ණැන නොවිමසා
වින කෙ‍ටුන දින බලනු විමසා


බොළඳ සිත රත්වී
නොමද තැවුලට පත්වී
දිවිද සුනරුත් වී
නොවිදනා දුකකටම පත්වී


පිපුණු හස‍රැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්


සිත් බිඳුම ඇත්තයි
ගත් බෙහෙත හරි තිත්තයි
පත් අගති දෙස් දෙයි
නවත්වපු තැන තවම සිත් ගයි


නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැ‍ඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්


සියල් සිරිගැන්වෙයි
විපුල් මඟ සිහිගැන්වෙයි
රුකුල් දී ලංවෙයි
එකල් නොකියූ කවිය කියවෙයි.




Monday, 9 August 2010

අවනඩුව




නිමිත්ත: ආචාර්ය මර්වින් සිල්වා උප ඇමති තුමා සමෘද්ධි නිලධාරියෙක්ව ගස් බඳියි.
ස්ථානය: කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය
පෙළගැස්ම: පැමිණිල්ලක් ඉදිරිපත්වුවහොත් සළකා බැලිය හැක
සාක්ෂි: ලංකාවේ ප්‍රවෘත්ති පත්තර, ටීවී ප්‍රවෘත්ති  වෙබ් අඩවි විඩියො හා මෙකී නොකී දෑ
යොමුව: 
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙත නමස්කාර පූර්වකව

දෙනෝ දහක් සිය දැසින් දක්කේය
තවත් සහසකට උණුවෙම වික්කේය
දෙනත් අයා දු‍ටු අය කට ‍රැක්කේය
පුවත් දැන දැනත් පුවතක් නැත්තේය



ශක්ති බලගතුව තිරිසන් ගති දරණ
පත්තියම් නොවුන බෙහෙතම ලද බැවින
විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බි‍ඳෙන



බලව් සතර අත අණ වින කටිනු බලව්
නැගෙව් එකා මෙන් පිස්සව කුදලා ගනිව්
කියව් මහ රජුට අවනඩු නතර නොවව්
වරෙව් සොයාගෙන..... යුක්තිය පසිඳලියව්


අනේ රජිඳුනේ,  අපගේ දුක අසනු
වනේ වන සතුන් සේ සඟවා නොයනු
විනේ කටින අය දැන හදුනා ගනිනු
ගුණේ ඇති අයට යහ වරදාන දෙනු



මැස්සා මැරූ වඳුරගෙ වඟතුග දන්න
පිස්සාගෙන් කඩුව විඟහට ඇරගන්න
නිස්කාරණ විහිළු සැපයුම නවතන්න
වස්සන් අඹවන්න උම්බෑ නොකියන්න


Sunday, 8 August 2010

අලුත් ජන කවි..




කොරවක්කන්ට මඟ කියනා මහ බස්සා
වරුවක් නැගිට හිඳ උපවාසෙට බැස්සා
බොරුවක් නොවේ වලිඟය අංදෙක උස්සා
කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා


රජ වාසලේ කන්නට නැති කල සීනී
අන්දරේලා කර උඩ නැතිවම ගෝනී
දියවන්නාව හොරුනට විය පරවේනී
උලලේනිත් පලච්චිය පින මදිහෙයිනී


ගිලීමලෙත් දත සුද්දන් ඇති සේමා
පොලී කොමිස් වල වගතුඟ නම් බෝමා
කෙළී සියොළඟම අපුලක් වෙද කෝමා
පොළීසියත් වලිගය නැති ගොනු සේමා


සිත් පිත් නැති රෝම නීතිය පි‍ටු දකින
ගස් ගල් හොයා හොයා බැඳ දඩුවම් දෙවන
පස් පව් කියන්නේ මොනවාදැයි නොදැන
සක්විත්තොත් මඟට බැස හිඟමන් යදින


කොටින් කැලේ නොව  වාසල වෙත ගෙනෙනු
හටන් කරපු අය උළුගෙදරට යවනු
දනන් දන ගසා හැඬුවත් නොමබලනූ
කතන්දරේකට මදි, තව නැහ කරුණු


වසුන්  බදින වර පට අත ‍රැදීයන්
විසල් දොර‍ටු හොරු පිරිසට වැසීයන්
විකල් නොවී සිහි එලවා දිනේවන්
කොසොළ් සිහින මහරජුටත් පෙනීයන්

Saturday, 7 August 2010

නොදු‍ටු හිරු


කරුවල පි‍ටු දකින්නට සඳ එළි පැතුව
බොරු වලවල් වලම නිරතිරුවම කො‍ටුව
හිරු මල පෙනෙද්දිත් ඒ ගැන වග නැතිව
මරුවැල නොපාගා ඒ අසළම නැ‍ටුව


බැටකා ගිණි පෙනෙල්ලෙන් පාඩම් ලැබුවේ
විටකදි කණ මැදිරි එළි වලටත් හැඬවේ
පිටි කා ඉවර වී කැවුමට පිටි මදිවේ
නොතකා හරිනු කොහොමද? තවමත් සිහිවේ


කලින් කළ පළින් පළ කීවා සේම
හෙමින් හෙමින් නුඹ මවෙතට ආවාම
ගිමන් හරින වගකුත්  කිසි නැතිවාම
හොරෙන් ගියේ ඇයි මාහට නොකියාම



කලුත් ගොසින් දැන හඳුනා ගත්තේද
සිරිත් විරිත්  කුළ මල ගොත් ‍රැක්කේද
නුඹත් මමත් මේ සසරේ එක්වේද
විරිත්තමින් පි‍ටුපා යනු සිත් වේද



කලකදි රහලු ..ඒ රහ නම් දැන් නෑලූ
විටකදි හමුවෙලා වස විස කෑ සේලූ
දුකකදි මට අදත් මමවත් නැතිවීලු
විලකදි මාලු හමුනොවුනට දුක නෑලු

Friday, 6 August 2010

නොකියූ කවිය


"නෑවිත් යන්න බැරි නොගොසින් එන්න බැරි"
ඈවත් ඇරන් එක මඟ යන මං ඇහිරි
ආවත් නැතත් හිත බැඳි සෙනෙහස නොහරි
මාවත් "දේවේන්ද්‍රා සන්" කෙනෙකු සරි


හිත් පිත් නැති ලොවක වත්සුනු තවරාන
නෙත් නැති වුනදාට ලස්සන කෝ පේන
ඇත්තම කියන්නට ගොස් පැටලුනි හීන
හිත්ගත් නුඹත් තවමත් පැටලෙන ගාන


පින්නේ පිපුන බිම් මල් සුවඳක මුසුව
දුන්නේ පිළින මුඳු සෙනෙහසකට නතුව
යන්නේ දැයි නොදත් පෙරහැරකට කො‍ටුව
ඉන්නේ විස්මතවදෝ දෙඩුමක් නැතිව


පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
රෑවෙයි අයෙත් ඒ හෙවනැළි දැස වසා
මාවයි නුඹයි ඒ දියදම නියත ලෙසා
පායයි නුඹට හිරු මගේ උරුමය සලසා


සරිකොට සිතැඟි දැන හදුනා ගත්තේද
ගුරුකොට ප්‍රේමයම නුඹ ඒ මත්තේද
වරුවට දෙකට  අගතියකට පත්වේද
"නොරිකොට" වෙච්ච දේ නුඹටත් අත්වේද?