වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Friday, 13 August 2010
මතක සුවඳ
හාන්කවිසියක් නුඹ ගැන නොදැනීම
වහන් විය මතක නුඹටද මට මෙන්ම
කාන්සියට කියු ගී සීපද සේම
හීන් හිනාහඬ මට ඇහෙනවා තාම
වාන් ඇළ දෙගොඩ තැළුවා සේ උතුරා
පහන් සිත් පිපුණි සෝ ළතැවුල් නොපුරා
රුවින් නුඹෙ, මහද පිරි තිබුනත් සපුරා
එවන් දිනක් එද! යළි දිවි තිබෙන තුරා
පුන්සඳ නැගී නුඹේ වත සිහියට නංවා
බැන්නැග්ගම උඩින් ඉද හිට හිනැහෙනවා
පින් මදි අතීතයේ සිතුවිළි තනි කරවා
පුන්සඳ ලෙසම නුඹ සැඟවිනි මා හඬවා
මනකල් රුව වගේ සිත රුව නැති වීද
හැමකල් ලඟ ඉන්න නොහැකියි හිතුනාද
මුතුලැල් කඳුළු කැට සීතල වැඩි නේද
නොකැලැල් සෙනෙහස අරුමය සිහිවේද?...
Thursday, 12 August 2010
අමයුරු
ඇවිද එක යායක
පබැඳ රස පෙම් ගීයෙක
නොවිඳ මල් පහසෙක
කිමද ළතැවුල් කියනු ඇයි දුක
සුමුඳු මල් පෙත්තේ
නොවිඳු මෙළෙකකි ඇත්තේ
නමුඳු සිත් ගත්තේ
සිනිඳු බව මම රැකිය යුත්තේ
මල් නම් සුවඳමය
කල්යල් බලා තැවෙනුය
විල් තෙර බඹරු මය
මල් සුවඳ වුන් නිතර විඳිනුය
දනිමි ඒ කාරණ
හිදිමි වී විස්ෂෝපන
ඉඳිමි හද බැඳි තැන
පුඳමි පෙම මල වෙතම පෑහුන
ඇතිව හද පුරවා
නිති සෙනේ ගඟ හරවා
නැතිව හිඳ තනිවා
කිති කවා යනු බඹරු සමවා
පැණසර බොහෝමය
අණ නුඹේ හරි සොඳුරුය
මන දොල පිරේ මය
හමන සුළඟෙත් සුවඳ නුඹගෙය
බඹරු මෙහි වැන්නේ
තඹරු රස විඳගන්නේ
කවුරු විදවන්නේ
මියුරු රස ගැන නැතිද දන්නේ
නිරාමිස රසයත්
විඳීමට හැම අසමත්
ගැලීමෙන් මිඳිලත්
මෙමා අමයුරු රසම විඳගත්.
Wednesday, 11 August 2010
විකල් කවි
වයසට නොහොබිනා බහු කෝළම් රැගෙන
කැටිකොට නිවසටම ගොස් ඇඳ දා තිබෙන
නහුතෙට දියුණුවී ඉහමොල කිති කැවෙන
නියරට පිටින් කක්කුටු වලවල් මකන
ප්‍රේමාතුර සොඳුරු ඇස් නොදකින සේම
කාමාතුර රකුසෝ මං වළකති තාම
සීමා වැට කඩොළු දැන ගන්නද කෝම
සාමා අමරටත් මඟ වැරදුනි බෝම
ගමින් ගම තිබුන අම්බලමට නිතින
ගිමන් හරින තානයම් හතු පිපෙන
ගමන් කරන්නේ හොද අතකට නොවන
වරෙන් ගෙදර නොහැරම මඟ තොට ගිමන
ලැඟ මඟ තොට ලාභ තානායම් අතර
ඇඟ මසටම බැඳුන පෙම් වතුනේ නිතර
ඉඟ සුඟ මිසක හුදු සෙනෙහසකට පතර
මඟ පෙන්වන කෙනක් වෙත් දැයි කිව මිතුර
කොල්ලන් උපත් පාලන අඩු වැඩිය ගෙන
කෙල්ලන් ජාමේ බේරාගෙන කඩුලු පැන
සල්ලන් වුවත් කිම දොස්තර අතට ගෙන
පල්ලන් බහින්නේ අද නොව දිනේ එන
කල්පැන ගියපු කව් සිරිමත් බණ දැහැන
ඇල්මෙන් අකුරු ඇයි? සැතපෙන සිරියහන
විල්ලුද මත රැදෙන පින පමණිය නිවන
කල් යල් බලමු එනකොට විදිහට පැමින
නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!
Tuesday, 10 August 2010
බිඳුනු සිතුවිළි
බිඳුනු සිතුවිළි සෝදා
රැඳෙනු පින සාදා
හිඳිනු අත් බැඳ මඟ නොවරදා
සිතුම් බොඳ වූවයි
හැඟුම් බර වැඩිවේ මැයි
ඇඬුම් දුක බෝමයි
පැතුම් මල් හැමදාම පීදෙයි
ඇන බැන අඬගසා
පැන පැන නපුරු විලසා
ගුණ ණැන නොවිමසා
වින කෙටුන දින බලනු විමසා
බොළඳ සිත රත්වී
නොමද තැවුලට පත්වී
දිවිද සුනරුත් වී
නොවිදනා දුකකටම පත්වී
පිපුණු හසරැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්
සිත් බිඳුම ඇත්තයි
ගත් බෙහෙත හරි තිත්තයි
පත් අගති දෙස් දෙයි
නවත්වපු තැන තවම සිත් ගයි
නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්
සියල් සිරිගැන්වෙයි
විපුල් මඟ සිහිගැන්වෙයි
රුකුල් දී ලංවෙයි
එකල් නොකියූ කවිය කියවෙයි.
Monday, 9 August 2010
අවනඩුව
නිමිත්ත: ආචාර්ය මර්වින් සිල්වා උප ඇමති තුමා සමෘද්ධි නිලධාරියෙක්ව ගස් බඳියි.
ස්ථානය: කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය
පෙළගැස්ම: පැමිණිල්ලක් ඉදිරිපත්වුවහොත් සළකා බැලිය හැක
සාක්ෂි: ලංකාවේ ප්‍රවෘත්ති පත්තර, ටීවී ප්‍රවෘත්ති වෙබ් අඩවි විඩියො හා මෙකී නොකී දෑ
යොමුව:
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙත නමස්කාර පූර්වකව
දෙනෝ දහක් සිය දැසින් දක්කේය
තවත් සහසකට උණුවෙම වික්කේය
දෙනත් අයා දුටු අය කට රැක්කේය
පුවත් දැන දැනත් පුවතක් නැත්තේය
ශක්ති බලගතුව තිරිසන් ගති දරණ
පත්තියම් නොවුන බෙහෙතම ලද බැවින
විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බිඳෙන
බලව් සතර අත අණ වින කටිනු බලව්
නැගෙව් එකා මෙන් පිස්සව කුදලා ගනිව්
කියව් මහ රජුට අවනඩු නතර නොවව්
වරෙව් සොයාගෙන..... යුක්තිය පසිඳලියව්
අනේ රජිඳුනේ, අපගේ දුක අසනු
වනේ වන සතුන් සේ සඟවා නොයනු
විනේ කටින අය දැන හදුනා ගනිනු
ගුණේ ඇති අයට යහ වරදාන දෙනු
මැස්සා මැරූ වඳුරගෙ වඟතුග දන්න
පිස්සාගෙන් කඩුව විඟහට ඇරගන්න
නිස්කාරණ විහිළු සැපයුම නවතන්න
වස්සන් අඹවන්න උම්බෑ නොකියන්න
Subscribe to:
Posts (Atom)




