Wednesday, 13 April 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා





පිස  එන මඳ සුළඟ එක් වූ දෙසක ‍          රැස
‍රැස  කට අළුත් අවුරුදු පැතුමකිය        තොස
තොස  දෝරේ ගලා බ්ලොග් වියමනෙහි  යස
යස  සිරි උදාවේ සැම දුක කඳුළ              පිස

   ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා


Tuesday, 12 April 2011

හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා



ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ
කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ
තවත් මතක  මතකෙට නොනැගෙන මානේ
නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ?

විස්තර අසාගෙන  යනමං දැන හැඳින
ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින
ඇස් හැර බලන්නෙද පෙරදා දු‍ටු සිහින
නිස්සර අකුසල් ද මේ  කුසලට හැරුන

ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ
කැපවී සිටින්නේමි ශුභ නැකත ගෙන අතේ
ඇපයට සංක්‍රාන්තිය නොවෙද ජීවිතේ
අපහට කොහෙද අවුරුදු තවම නොනගතේ

රන්දා සිනා, වත සඳ මඬල කිති කවා
මන්දාරම් කඳුළු ඉකි බිඳුම නැවතුවා
වින්දා අසිරි සිරි තරු පොකුරු විසුරුවා
හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා


..

Monday, 28 March 2011

ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා



ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා 
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා


සියල් සිරිත් හැර උඩුගං බලාගෙන 
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන 
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන 
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන


සුපුන් සඳේ තරු පිරිවර හා ‍රැඳුන 
ඉතින් නැවත මා එනතුරු මඟ බලන 
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ 
පිපෙන්න ඇයිද? මල් අකුලක ‍රැ‍ඳෙන



පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී 
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී 
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී 
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී

Saturday, 5 March 2011

සඳ වතක් වුනා නුඹ මට ,


සඳ වතක් වුනා නුඹ මට,
 තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී  නිතින්

දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
‍රැඳුනි දෝ ළඟින්

නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත්  නුඹෙ වඟ
කොඳුරලා  ගිහින්

දුර ගියත්  හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ ‍රැක
හිඳිනෙමී ඉතින්.....

Friday, 11 February 2011

නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන


හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද
දුකට උණු කදුළු වල පහසම වින්ද
එකට යා නොහැකි උසුලා දුක් කන්ද
දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද

වදන් වල අරුත් පසිඳා ගත හොහිනී
උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී
සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී
පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි

උඩු සිත් අරා නැ බෑ කීවත් අරම
යටි සිත් තු‍ටු වු අරුමය කියනුද කෝම
පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම
මුනිවත් රකින යුරු ඉවසන්නද මේම

කිසිදා එක් නොවෙන එක ළඟම ඈඳුන
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන
වෙනදා වගේමයි  ඒ සිතම පෑහුන
හැමදා ඉඳින්නද මේ ලෙසින් නෑසුන.......