වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Wednesday, 11 August 2010
විකල් කවි
වයසට නොහොබිනා බහු කෝළම් රැගෙන
කැටිකොට නිවසටම ගොස් ඇඳ දා තිබෙන
නහුතෙට දියුණුවී ඉහමොල කිති කැවෙන
නියරට පිටින් කක්කුටු වලවල් මකන
ප්‍රේමාතුර සොඳුරු ඇස් නොදකින සේම
කාමාතුර රකුසෝ මං වළකති තාම
සීමා වැට කඩොළු දැන ගන්නද කෝම
සාමා අමරටත් මඟ වැරදුනි බෝම
ගමින් ගම තිබුන අම්බලමට නිතින
ගිමන් හරින තානයම් හතු පිපෙන
ගමන් කරන්නේ හොද අතකට නොවන
වරෙන් ගෙදර නොහැරම මඟ තොට ගිමන
ලැඟ මඟ තොට ලාභ තානායම් අතර
ඇඟ මසටම බැඳුන පෙම් වතුනේ නිතර
ඉඟ සුඟ මිසක හුදු සෙනෙහසකට පතර
මඟ පෙන්වන කෙනක් වෙත් දැයි කිව මිතුර
කොල්ලන් උපත් පාලන අඩු වැඩිය ගෙන
කෙල්ලන් ජාමේ බේරාගෙන කඩුලු පැන
සල්ලන් වුවත් කිම දොස්තර අතට ගෙන
පල්ලන් බහින්නේ අද නොව දිනේ එන
කල්පැන ගියපු කව් සිරිමත් බණ දැහැන
ඇල්මෙන් අකුරු ඇයි? සැතපෙන සිරියහන
විල්ලුද මත රැදෙන පින පමණිය නිවන
කල් යල් බලමු එනකොට විදිහට පැමින
නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!
Tuesday, 10 August 2010
බිඳුනු සිතුවිළි
බිඳුනු සිතුවිළි සෝදා
රැඳෙනු පින සාදා
හිඳිනු අත් බැඳ මඟ නොවරදා
සිතුම් බොඳ වූවයි
හැඟුම් බර වැඩිවේ මැයි
ඇඬුම් දුක බෝමයි
පැතුම් මල් හැමදාම පීදෙයි
ඇන බැන අඬගසා
පැන පැන නපුරු විලසා
ගුණ ණැන නොවිමසා
වින කෙටුන දින බලනු විමසා
බොළඳ සිත රත්වී
නොමද තැවුලට පත්වී
දිවිද සුනරුත් වී
නොවිදනා දුකකටම පත්වී
පිපුණු හසරැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්
සිත් බිඳුම ඇත්තයි
ගත් බෙහෙත හරි තිත්තයි
පත් අගති දෙස් දෙයි
නවත්වපු තැන තවම සිත් ගයි
නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්
සියල් සිරිගැන්වෙයි
විපුල් මඟ සිහිගැන්වෙයි
රුකුල් දී ලංවෙයි
එකල් නොකියූ කවිය කියවෙයි.
Monday, 9 August 2010
අවනඩුව
නිමිත්ත: ආචාර්ය මර්වින් සිල්වා උප ඇමති තුමා සමෘද්ධි නිලධාරියෙක්ව ගස් බඳියි.
ස්ථානය: කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය
පෙළගැස්ම: පැමිණිල්ලක් ඉදිරිපත්වුවහොත් සළකා බැලිය හැක
සාක්ෂි: ලංකාවේ ප්‍රවෘත්ති පත්තර, ටීවී ප්‍රවෘත්ති වෙබ් අඩවි විඩියො හා මෙකී නොකී දෑ
යොමුව:
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙත නමස්කාර පූර්වකව
දෙනෝ දහක් සිය දැසින් දක්කේය
තවත් සහසකට උණුවෙම වික්කේය
දෙනත් අයා දුටු අය කට රැක්කේය
පුවත් දැන දැනත් පුවතක් නැත්තේය
ශක්ති බලගතුව තිරිසන් ගති දරණ
පත්තියම් නොවුන බෙහෙතම ලද බැවින
විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බිඳෙන
බලව් සතර අත අණ වින කටිනු බලව්
නැගෙව් එකා මෙන් පිස්සව කුදලා ගනිව්
කියව් මහ රජුට අවනඩු නතර නොවව්
වරෙව් සොයාගෙන..... යුක්තිය පසිඳලියව්
අනේ රජිඳුනේ, අපගේ දුක අසනු
වනේ වන සතුන් සේ සඟවා නොයනු
විනේ කටින අය දැන හදුනා ගනිනු
ගුණේ ඇති අයට යහ වරදාන දෙනු
මැස්සා මැරූ වඳුරගෙ වඟතුග දන්න
පිස්සාගෙන් කඩුව විඟහට ඇරගන්න
නිස්කාරණ විහිළු සැපයුම නවතන්න
වස්සන් අඹවන්න උම්බෑ නොකියන්න
Sunday, 8 August 2010
අලුත් ජන කවි..
කොරවක්කන්ට මඟ කියනා මහ බස්සා
වරුවක් නැගිට හිඳ උපවාසෙට බැස්සා
බොරුවක් නොවේ වලිඟය අංදෙක උස්සා
කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා
රජ වාසලේ කන්නට නැති කල සීනී
අන්දරේලා කර උඩ නැතිවම ගෝනී
දියවන්නාව හොරුනට විය පරවේනී
උලලේනිත් පලච්චිය පින මදිහෙයිනී
ගිලීමලෙත් දත සුද්දන් ඇති සේමා
පොලී කොමිස් වල වගතුඟ නම් බෝමා
කෙළී සියොළඟම අපුලක් වෙද කෝමා
පොළීසියත් වලිගය නැති ගොනු සේමා
සිත් පිත් නැති රෝම නීතිය පිටු දකින
ගස් ගල් හොයා හොයා බැඳ දඩුවම් දෙවන
පස් පව් කියන්නේ මොනවාදැයි නොදැන
සක්විත්තොත් මඟට බැස හිඟමන් යදින
කොටින් කැලේ නොව වාසල වෙත ගෙනෙනු
හටන් කරපු අය උළුගෙදරට යවනු
දනන් දන ගසා හැඬුවත් නොමබලනූ
කතන්දරේකට මදි, තව නැහ කරුණු
වසුන් බදින වර පට අත රැදීයන්
විසල් දොරටු හොරු පිරිසට වැසීයන්
විකල් නොවී සිහි එලවා දිනේවන්
Saturday, 7 August 2010
නොදුටු හිරු
කරුවල පිටු දකින්නට සඳ එළි පැතුව
බොරු වලවල් වලම නිරතිරුවම කොටුව
හිරු මල පෙනෙද්දිත් ඒ ගැන වග නැතිව
මරුවැල නොපාගා ඒ අසළම නැටුව
බැටකා ගිණි පෙනෙල්ලෙන් පාඩම් ලැබුවේ
විටකදි කණ මැදිරි එළි වලටත් හැඬවේ
පිටි කා ඉවර වී කැවුමට පිටි මදිවේ
නොතකා හරිනු කොහොමද? තවමත් සිහිවේ
කලින් කළ පළින් පළ කීවා සේම
හෙමින් හෙමින් නුඹ මවෙතට ආවාම
ගිමන් හරින වගකුත් කිසි නැතිවාම
හොරෙන් ගියේ ඇයි මාහට නොකියාම
කලුත් ගොසින් දැන හඳුනා ගත්තේද
සිරිත් විරිත් කුළ මල ගොත් රැක්කේද
නුඹත් මමත් මේ සසරේ එක්වේද
විරිත්තමින් පිටුපා යනු සිත් වේද
කලකදි රහලු ..ඒ රහ නම් දැන් නෑලූ
විටකදි හමුවෙලා වස විස කෑ සේලූ
දුකකදි මට අදත් මමවත් නැතිවීලු
විලකදි මාලු හමුනොවුනට දුක නෑලු
Subscribe to:
Posts (Atom)