Tuesday, 7 September 2010

සංශෝධිත කවිය




සියළු දොස් නැසේවා 
නව අරුණළු පිපේවා
මෙත් සිත් සැදේවා 
සැමට මින් යහපතක් වේවා


හතලිස් අටේ සිට
හැත්තෑ දෙකන් පසුවට
ව්‍යවස්ථා පි‍ටුවට
පැලැස්තරනම්  මතක නෑ මට


බලය ලත් කවුරුත්
බලය දා යනු නොමවෙත්
බලය පිළිබඳ සිත්
සැදී බලයෙන්, බලය ලැබගත්


කවුරු රට කෙරුවත්
කියු ලෙසම නැත පිළිවෙත්
එගැන විමසීමත්
මොළේ කඳුළක් වෙතොත් නොමවෙත්


මිදි ඇඹුල දැනිලත්
දැත් ඔසවා මුදුනත්
වින කළ අය ඇවිත්
මිදි ඇඹුල් බව අපිට පවසත්


එදා මුන් අනුදත්
මෙදා හොද නැහ කීවත්
කළු කෝට් ඇදලත්
නිරුවතින් බව තොමෝ නොදනිත්


කළ කිසිත් නොමදත්
නැතොත් දැනගෙන නොකරත්
අප වැනි අය තවත්
උනු නිසා කිරි  නොබී ලතවෙත්


රටත් ජනතාවත්
මිරිකෙන දුකින් බලවත්
මුදාගෙන සුවපත්
කලොත්, ඔබමය රජුනි යහපත්....




Monday, 6 September 2010

"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත"


බලේ බලේ තුන් හෙළයම ‍රැකුන බලේ
කොලේ වහන් ඉදගෙන අයේ මොටද බොලේ
පිලෙ පැඳුරු දාගෙන ඇති හිටියා මලේ
කුලෙ අලි පවා දහ අට රකින කලේ


හයෙන් පහක බල හැත්තැ හතේ ගෙන
ගනන් නොගෙන මහජනතාවගේ අන
තමන් වෙනුවෙන්ම මේ වියවුලේ ඇන
විහින් නැහුනේ අලි මිස කවුරුදෝ වෙන


ගෙනත් අවනීති අතපය බැඳ දැමුනී
නැවැත්වුයේ විරෝධය කුළු පොලු වලිනී
මහත්වරුනි ,අපි නම් ඒලෙස නොවිනී
මහත්තයාට වෙඩි නොවදින බෙන්ස් දුනී


ඇවිත් විටින් විට අරලිය වලව්වට
රොටිත් සමග කෑ හැලපත් මතක් කොට
වෙඩිත් නොවදිනා තු‍ටු පඩුරු ලත්විට
රටත් ඔහුටමයි, මේ ටික ඇතිය මට


බලව් දෙනත් හැර හැත්තෑ හතේ පවේ
බොලව් ලා නේද අත් දෙකම ඉස්සුවේ
ඉලව්වක් නොවේ ඒ නුඹලාගේ පවේ
හිලව්වට අතක් උස්සමු පවක් නොවේ


කුමක්  කවුරු  කීවත් නොසිතමුය සැකේ
යමක් කමක් කළ හැකි අයටමයි ලකේ
වරක් දෙකක් නොව දිවි ඇති තුරුම ‍රැකේ
පොරක් නොවෙද රජ! රට ලතවුනත් දුකේ


"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදුන් මිස අන් කවෙත"
පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර  කවුරුත් නොමැත!





Wednesday, 1 September 2010

කැකිල්ලෙත් රජෙකි! ඒ රජ කවුරු හරි.




නිමිත්ත: සමෘද්ධි නිලධාරියා රඟපාලා  මර්වින් සිල්වා නිදොස්
ඇමති මෛත්‍රිපාල සිරිසේන පවසයි.. ලංකාදීප වාර්තාවක් 01.09.2010


රටටම පෙනෙන්නට ගස් බඳිමින් රජයේ
නිලධරුවෙකුට කළ කී දේවල් එළියේ
විස්තර කලත් පත්තර ටී වී බළියේ
දොස්තර පුතා නම් නැහ ඔය ජඩ කෙළියේ


සිදුවුන දේ දැකත් පැහැදිලිවම දන්න
විසදුම් දෙන රජෙක් අපි ලැබුවත් ඔන්න
නෙත් අඳවී ගොසින් හයවසරක් වෙන්න
කණවැල අල්ලන්න මර්වින්ටම දෙන්න


කේවටටයන් කවදත් රජු හට යාළු
ලැජ්ජාවක් නැතිව සපයනවා විහිළු
විශ්වාසයක් තිබු නැණවත් කම් පෑලු
මැට්ටන් ගේ රෙදිත් දැන් ගැලවීයාලු


සැමුවෙල්, ඇනස්ලිලා නැති අඩු පුරවන්න
මර්වින් ,සිරිසේනලා අත් බඳිමින්න
විත්තිය නිදොස් කර දඟ ගෙට දක්කන්න
පැමිණිලි කරුත්, විනිසුරුවත් කුඳලන්න


පුස්සන් රජ කරමු රට්‍ටුන් ගස් බදිමු
සෙස්සන් නහට නාහන කම්බස් කරමු
ඉස්සන් වගේ ඉහ මුදුනෙම නාගනිමු
වස්සන් තුනෙන් දෙකකට වැඩියෙන් බඳිමු


තැනකට යන්න හෝ නිවැරදි මඟ දන්න
රටකට එලියදෙන නිලයෙහි බැබලෙන්න
කරුමෙට වත් පැනපු උන් ටික නැතිවෙන්න
රජුටත් වෙන්නේ ගස් බැදගෙන පස් කන්න


බැඳිල්ලත් යෙහෙකි වස්සා අඹනු  බැරි
ඉඳිල්ලත් බොහෝ කල් යැයි සිතනු බැරි
වැ‍රැද්දක් දැකත් ජඩයින් රකින සිරි
කැකිල්ලෙත් රජෙකි! ඒ රජ කවුරු හරි.


කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා  මෙතැනින්


Monday, 30 August 2010

ශක්තිය දී රජුට සතුරන් ගෙට ගත්තෝ.....අළුත් ජනකවි 4


අළුත් ජනකවි 3

රජතුමා බොහොම ඉහලින් දක්කනවා
මංඩලේ කචල් තිබුනත් මක්වෙනවා
සිරිකොතේ ඉන්න කාළය දික් වෙනවා
මං හිතේ ලෙසට තොප්පිය පළදිනවා

සීනුව රටවටේ ඇරගෙන කැරකිල්ල
මාරුව පෙනි පෙනී හිතයට ළතැවිල්ල
වීරිය පාරමී වැඩුවට ‍රැවටිල්ල
කාරිය කෙරුණු පසු කාගෙත් ගෙරවිල්ල

පැන පැන ඇවිත් පාරම්බාමින් වස්සා
අණ වින කලෙන් රජුටත් පෙන්නා පස්සා
කළ ගුණ නොදත් උන්දැල දඟ ගෙට බස්සා
යන යන අතට ගහපිය දැන් උලුවස්සා

හැත්තෑ හතේ බලයට ඇවිදින් බිරුවා
විජ්ජා පෙන්නමින් කළගෙඩි එළි බැලුවා
නිස්කාරණෙ බලය එකතැනකට බෙදුවා
මුත්තා පල්ලා කීවත් අයේ ගනු බැරිවා

යුක්තිය හා සමය නිරතුරු ‍රැක ගත්තෝ
සොත්තී උපාලිට  සැලියුට් ගැසු ඇත්තෝ
ශක්තිය දී රජුට  සතුරන් ගෙට ගත්තෝ
භක්තිය පාමු කේ.පී ටත් වී ගැත්තෝ

හානා හීය බැරි බව අඬහැරෙන් දැනේ
නානා එන්නේ ඇයි කියලා ඉවෙන් පෙනේ
නේනා එවුන් ගැන  ගයමින් මොටද ගුණේ
වීනා ගහමු අපි එකසිය පනස් තුනේ

Sunday, 29 August 2010

දුරුව ගිය වසන්තය


බැල්මෙනා  මසිත හැඳින බොහො දුරක් ඇවිත්
කල්පනා  ලොවක රඳවමින් කොනක් තවත්
මල්සිනා  නුඹට පමනකිය  කියා ගියත්
හැල්මෙනා  දුවන හිතක් බැඳ තබනු නොවෙත්

පියඹලා  වසන්තයට බොහොම කල් ඇරන්
ගියවෙලාවේ වසන්තයත් මා දමා ගිහින්
නියඟලා  මලෙක රුසිරු දෙනෙත රවටමින්
වියැකිලා සෙනෙහේ  කඳුළු වලට හැරවෙමින්

දිවිතුරා හඬන්නට තරම් නොවේ වුවත්
අවිදරාණ සනුහරේම අපිට එරෙහි වෙත්
කවිකරාණ  කඳුළු බිංඳු නුඹෙ නමට අයත්
පිවිතුරා  වූ පෙම සුමිතුරු නොවී වන වදිත් 

කිමවුනේ! ගියා ඉගිල සියොත් කැළ සොයන්
මම අනේ තවම නපුරු සිහිනයෙම බලන්
විමසුනේ නැතිද  නැවත එන නො එන ගමන්
හැමදිනේ ම පුරුදු පරණ සිහිනයෙම ‍රැදෙන්.