Monday, 25 October 2010

පමාවූ විවාහ සංවත්සර කවිය



පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

Saturday, 23 October 2010

මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන



අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
කොල්ලට උගන්වන මඟ වැලකුවයි යකා
මුල්ලට වනු නොදී මතු පරපුරක් මකා
ගොල්ලට එකතු නොමවව් ! ඉදිරි වැඩ තකා


සතර දැන ඉගෙන මං පෙත් හදාගෙන
එතෙර වන තැනෙදි අං පටලවා ගෙන
නිතර කී කතා යළි යළි දෙසාලන
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන


ඇවිත් පැන කඩුලු අභියෝග ජයගෙන 
පුවත් දැන.. නොදත් ලෙස වළං බිඳගෙන
දොහොත් දී පුදන ගුරු පියන් වටලන
තවත් මෙහෙයුමක් දෝ රටක් අවුලන


හඬ නම් තරුණ හඬ සරසවි ජයගත්තෝ
වැඩකට නොමැති අරමුණු වල වී ගැත‍තෝ
ඉඩ නොතබා විහින් මඟ අහුරා ගත්තෝ
අඩ පණ කරයි සරසවියම වී ඉත්තෝ


කඩ ඉම උසස් පෙළ ලකුණක දෙකක නොමින්
හැඬ වෙන දූ පුතුන් පිටතයි ඇතුලේ නොවින්
ඉඩ ලඳ පිනින් ඇතුලට ආ අසුරු සැනින්
මැඬ වෙන දූ පුතුන් එන මඟ අගුලු නොලන්


‍රැසක් පුතුන් දූවරුනගේ නෙත්  හදන
දොරක් ඇරෙන..හෙට ලොව ජය ගනු ලබන
දිනක් අත ලඟම බව දෙස් දෙන බැවින
එකක් නොව ‍රැසක සරසවි දොර ඇරෙන


යන්තරේ හොදයි නම් වැඩ නිරවුල්ය
මන්තරේ තමයි හැමදාමත් හෙනය
පිංකරේ නැතිදු ලබනට විදු එළිය
අන්තරේ ගෙනෙයි හැමොටම රතු එළිය.

Tuesday, 12 October 2010

අළුත් ජනකවි. 6 ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න


අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න


ඉර වරවර ඉර වරවර වලල්ලා
හඳ වරවර හඳ වරවර වලල්ලා
පෑදී දියට බොර දිය එක් නොවෙල්ලා
ජේවීපෙයට මොළයක් ගෙන දියල්ලා...


සාර සියක් සතුරන්  ඔද බිඳ හෙලපු
වීර පුරුෂයෙක් මුලු ලනුවම ගිලපු
නෑර දුක, එගොඩ වෙන මඟකට පැනපු
සූරයා ඇතුලේ, හරකුන් හා ලැගපු


වීර විකුම් පෑවත් දුර නොදු‍ටු බැවින්
මාර සෙනඟකට ‍රැවටී කරපු පවින්
බේර ගන්න තවමත් ඉඩ තිබෙන හෙයින්
පාර හොයව්! නවතව්! මඟ, නැහෙන විහින්


කෑ කෝ ගසන එක, පිකටිං කරණ එක
ගිලිහෙන කොඩි ඇරන් පෙරහැර කරණ එක
යුග යුග ගනන් සිට නිරතුරු පුරුදු දැක
රණ විරුවෙකු ඇතුලේ හිරවෙන එකයි දුක


යුද්දෙදි නිකමෙකුට පාවාදී කිපුනු
සද්දය සමඟ ඔච්චම් කරමින් ‍රැඳුනු
ඔක්කොම වීරයොයි, එක විරුවෙකි මැඬෙනු
සජ්ජායනාවක පැටලී ඇති ලකුණු


බස්සෙක් ලකුණු ගයි, ගෙයි ක ගිණි ගොන්න
පිස්සෙක් අඬගසයි හිරගේ බිඳලන්න
නිස්සෙක් නොමැති කල හරි මඟ පෙන්වන්න
එස් එෆ්  හැමෝගේම කට ගැස්මකි ඔන්න


තිහකටත් එහා උම්බෑ ‍රැළ දිලිනු
පහකටත් මෙහා නුඹේ දිනුමෙහි ලකුණු
වියගහක් ඇරන් හරි දෙන්නව බඳිනු
පිය බසක් ලෙසින්, හා!! ජක්...! මක්...! කියනු


රුදු ගුණ අයහපත්, යුතුකම් දැනගන්න
මුදු ගති නිතර හොදමයි හිත් ඇරගන්න
සුදු කොඩි කතාවට නව අරුතක් දෙන්න
ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න....





Monday, 11 October 2010

සඳ සැඟව ගිය සද....




සීත සඳට හාදවී
සීතලේම ගුලි ගැහී
ඈත අහස දෙස බලා
සඳ පායන තුරු හිදී


කලා සොලොස පුරමිනේ
කොහේද සඳ හිනැහුනේ
අමාවකට බැඳිසෙනේ
සඳේ අවර පස පෙනේ


තරු නෙතකින් මඟ කියා
සිකුරු තරුව හිනැහුනා
වළා පෙලක සැඟවිලා
ඇයිද? කැළුම් සඟවලා


තරුත් පිපී හිනැහුනා
හිරුත් ඊට දී සිනා
වරුත් ගෙවී මම තනියම
අරුත් පසිදමිය මනා.


Thursday, 7 October 2010

බිඳුනූ සීතල සිහින





වසන්තය ගෙවුනූ
ගිම්හානෙයේ ‍රැඳුනූ
මතක දිග හැරුණූ
සිතක සීතල සිහින බිඳුනූ


වියෝ ළතැවුල්ලෙන්
ගියෝ ගැන විමසිල්ලෙන්
පියා සිතුවිල්ලෙන්
නියාමය කඳුළකට ඇල්මෙන්


සරණා කැළ සියොත්
පුරණා පෙමක සැනසෙත්
කරුණා දයා තෙත්
උතුරනා නුඹ අද කොහේ වෙත්


විපිළිසර වූවත්
ගැයෙන ගී නො ඇසූවත්
සිහිනයක දී වත්
ඇවිත් හමුවී යතොත් යහපත්
.