Monday, 1 November 2010

කැලෑ නීතියට නම් අප නොයා යුත



තලා පෙලා සරසවි කැකුළු විකසිත
පුරා වසර හතළිහ සපිරෙමින් එත
නරා වල ඉහින්නට ඉල් මහේ මිත
කැලෑ නීතියට නම් අප නොයා යුත


යුග යුග ගනන් නෙක නෙක උවදුරු විඳින
දැක දැක එවන් යුගයන් වෙත යළි ඇදෙන
මඟ එළි කරන්නට බල ලෝභෙහි බැඳුන
ඉඟියක් වත් නොදී රට ‍රැකගමු කළණ


ඌරන් කැකුණ තලමින් ඌරන් විලස
හාරන් මඩම උන් ගොඩ ගන්නේ කෙලෙස
තේරෙන්නැති නමුත් ඔ‍ටු ‍රැළකට පවස
බේරන්නේ කෙලෙස දරුවන් එක විලස


අතකින් අන්තරේ,අතකින් සරසවිය
විභාගේ ළඟය ඒකට කඩිමුඩිය
එහෙයියන් නොවීමෙන් ගැලවෙනු බැරිය
මරණ භය තියාගෙන පැණි කනු වැනිය


කවුරුන් රට කළත් හැම විටම දෙස් දෙන
පිස්සන් අතලොසක් ඇති රටක පිස්සෙන
දරුවන් යළිත් ඒ මරු කටට දක්කන
කෙරුමන් හැදින වලකමු ගන දැක්මෙන.

Sunday, 31 October 2010

මමත් බලා ඉන්නෙමි දකිනට හනික




ඇවිත් ගැයූවත් කවි ගී පද සින්දු
තවත් මොන කතාවද කඳුළකි ‍රැන්දූ
ගියත් අතැර නෑසෙන දුරකට කැන්දූ
ගයත් මෙ කවි සීපද නුඹටම ලන්දූ


දැනත් නොවේ නම් නොදනිමි යැයි කියනු
කොහෙත් බැරි දෙයකි දැනවුන් කළ කරුණු
එහෙත් බොහෝ දේ දැන දැනමත් කුළුනු
ගුණෙත්, නුඹෙ පිළිවෙතත්, සොඳුරුය පිරුණු


ඇවිත් යනු නොහේ නෑවිත් යන්න බැරී
තවත් ඒ සිහිනයේ රඳවන්න බැරී
නුඹත් තවත් හිතකට පෑහෙන්න හරී
නැවැත්විය යුතුය වෙදකම නොකර බැරී


නෙතත් කඳුළු උසුලා හදකට සුසුම
ගෙනත් දී කළේ මම වරදකි ලොකුම
තවත් පමා නැතිකල, නොපිරෙන පැතුම
පවත්වා ඇයිද?කිමිදෙනුයේ එහිම


සියත් කුල මියුරු ගීයක රස වියැක
තවත් බොහෝ ගී රස විඳිමින් දොහක
නුඹත්  දිවි කඳුළු පිසදාලන කලෙක
මමත් බලා ඉන්නෙමි දකිනට හනික


Saturday, 30 October 2010

අළුයම හීනයේ ඇහැ පියවෙන්නේය....



රුව ඇඳි සිහිනයේ පැටලී අකුරු සරින්
කිම මංමුලා වූවේ අපි ළදරු වෙසින්
දිව ගිය කාලයම නපුරට එකතු වෙමින්
මම මහ ලොකු වරදක් කර ඇතිය නොමින්


වතු සුදු මලෙක මුඳු බව හදවතෙහි තියා
මතුයම් දිනෙක විඳිනට හැකි වෙතිය කියා
සිතුවෙමි, සියළු බැඳි බැමි අමතකව ගියා
රතුවුන ඇහැක කඳුළක් උරුමයට තියා--


සිතිවිල්ළක එබඳු බැඳුමට වුන කරුණූ
ළතවිල්ලක මුලකි දින දින වේ දරුණූ
මැසිවිල්ලක ලියා දිය කර දා හරිණූ
හස‍රැල්ළක ‍‍රැ‍ඳෙන ලකුණක් නැහ පෙනෙනූ


ගැයුවත් විහඟ හද බැඳ තබන ලෙසින්
ලියුවත් බොහෝ දෑ  කිසිදා නොවන හෙයින්
පදරුත් විමසමින් කළ කී දෙයහි හෙමින්
සුනරුත් වීය ගී කෝකිල, කපු‍ටු සරින්


සැමරුම හෑමදාමත් පවතින්නේය
විසදුම සමාවක් නම් නොලැබෙන්නේය
අළුයම  හීනයේ ඇහැ පියවෙන්නේය
විමසුම කුරුල්ලන්ටත් වරදින්නේය....

Thursday, 28 October 2010

නෙත් මායිමේදී.....



හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දු‍ටුවාද?
කඳුළුත් සීතළේම සඟවා


කීරලෙක් හිස් අහස කම්පා 
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙ‍රැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා


ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ  හෙව්වා
උදාගිරගින් නැගී අවරින් 
ගිලී  නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..

Monday, 25 October 2010

පමාවූ විවාහ සංවත්සර කවිය



පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ