Saturday, 20 November 2010

දේදුනු පාට අතහරිමින්


සීතළ දුරුත්තට කලියෙන්
ඉල් මහ සීතළේ ගැහෙමින්
ගිලිහුන වසන්තය සමඟින්
උණුසුම සොයයි සිත තරහින්

පීඳුනු සිහිනයට රහසින්
ඈඳුනු හිතට කිති කවමින්
දේදුනු පාට අතරිමින්
කලු සුදු ලොවක කල් බලමින්

ගීතයේ තනුව හැර, ශ්‍රැතියෙන්
දීගයේ බැඳුනු කළ කලියෙන්
ඊතළ නොවිද්ද සඳ, මලවින්
සීතළ දැනේද නෙතු කදුළෙන්

රූසිරි බලා එබී හො‍රැහින්
ආසිරි ගීත තළුමරමින්
පැහැසර මැකී, මලානික මෙන්
දොරහැර දමා.... මෙමා තනියෙන්.....


Wednesday, 17 November 2010

පදවි සම්ප්‍රාප්ති කවි




කවුරු නොහොඳ දැක්කත්  සපුමල් කුමරූ
පහල නොවිනි නම් දැක ගත හැක බහුරූ
විහිළු කාරයින් අඩු නැති කළ මිතුරූ
වීර විකුම් පෙළහර කියනුද කවුරූ


ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී
කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී
ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී
දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වො‍රැඳී


ගස්සා බිම දමා මරුවැල් ඇද තිබුනූ
රස්සා කරපු රට, ඒ පින අත් විඳිනූ
නිස්කාරනේටම හැමදාමත් බැඳුනූ
පිස්සන් ටික කෙරෙත් දක්වනු මෙත් කුළුනු!



ජාතිය දේශයක් තුල මඟ නොම හැදින
භීතිය ගෙනා යුගවල සිට දැන හැඳින
නීතිය රකින මංපෙත් වල හිල් හැදින
නෑසිය පිරිවරට බෙදුවානම්, නොමින



විල් බොර දියේ දිය බුං ගසමින් නටන
පිල් විදහා නටත්, අමු හෙළුවම පෙනින
කල් යල් බලන බක තපසුන් හට ලොබින
පල් හොරුනුත් හැඳින ,තිත තබමුද ඉතින


ආ මඟ සුවපහසු නැත, යන මඟ දරුණූ
පෑ පෙළහර වගේ තව එක්කර කරුණූ
පා මෙත් ගුණ නිබඳ, සතුරාටත් කිපුනූ
මේ උත්සව දිනේ උන් මුදවා හරිණූ


නිරිඳුන් වුනසේම,පුහුදුන් මිනිසුන්නේ
නිතැතින් බොහෝ ගුණ දම් වුව ගිලිහෙන්නේ
එතෙකින් කරපු හොදනම් නැත අඩුවෙන්නේ
මැතිඳුන් ඔබටමයි"රජකම" ගැලපෙන්නේ.





Tuesday, 16 November 2010

දිග සුසුමකට.....




දිග සුසුමකට බර දී නිදි නැති යාමේ
වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ
නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ
මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ


රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ
මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ
ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ
විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ


ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ
විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ
කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ
වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ


නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම
පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම
ආයෙත් කථා නොකරණ බව කීවාම
නෑ තෙත් වුනේ නෙත,හිත අඬනව තාම....

Saturday, 13 November 2010

ගංවතුර




පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු
යන එන මං නොදැන නුවරම යට කෙරුණු
කොහෙ ‍රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ
මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු


ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා
‍රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා
උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා
මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා


බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන
පර්චස් දහය පහලොවකට බෙදාගෙන
අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන
හිටියත් වතුර විත් එකමුතු විලාසෙන


කුළ ගොත් පාට හෝ බෙදුමක වපසරිය
වැදහොත් ඒ බලය සෙල්ලමකට සරිය
සවිමත් කරන්නට රට නංවන බලය
කවුරුත් ගංවතුර මෙන් එක්විය යුතුය


යුග යුග ගනන්  පීඩා විඳිමින ගෙවුන
ඒ කල දසාවට දොර අගුලක් තබන
නැති දේ ගැනම දොඩමින්  කල් යල් හරින
මිතුරනි පෙරට යමු ගංවතුරක් ලෙසින.


ඉල් මහේ කඳුළු

මඟ වරදවාගෙන
හැත්තෑ එකේදී හා
අසූ අට, අසූ නමයදී
සුසුම් වැල් එක්වීය සුළඟට
තබා මහා හිස්තැනක්....
.......................................
එකවරක් නොව
දෙවරක්ම.. 
ඇයි වැරදුනේ මඟ.....


ඉන් අනතුරුව
යෂ්ටිය අතට ගත්
පෙරගමන් කරුවෝද 
මඟ වරද්දාගති.............
අනූ හතරේ හා
දෙදහස් පහේදී
යන එන මං නොදැන
හතර බීරී කථා කියමින
එකවරක් නොව
දෙවරක්ම.. 


කියාදෙන්නට මඟ 
මොවුනට
කිසිවෙක් නැත අහලක
කියා දුන්නද... 
කෙසේ නම් අසනුද?
අඳ බාල වූ කල
නඩේ මුල....


මස් රාත්තලම ඉල්ලන
"ෂ්යිලොක්" ලා මෙන
පුරුද්දට වාගේ... 
වටරවුමට ම කො‍ටුවෙන
ආරේ ගුණම සුරකින
සිල්ලර වාසියට
සරසවි පවා අවුලන


මේ සියළු දුක් උහුලන....
ස්වභව ධර්මය..
ඉල්මහ නෙතින් හෙළු 
කඳුළුද?......
මේ දෙගොඩතලා යන්නේ..