Saturday, 21 January 2012

මගේම ආදරණීය ( 2 ) ...............





  හෙට..........!

පෙමාතුර හැගුම් අබියස
දවා මුලු දිවිය කදුළක
හොවා ගෙන ළතැවුලෙහි සිත
කිමද කාරණා.....................


දි දී නෙක පිළින මනනද
ඉදී නුඹෙ සුවය විද,  විද
සැදී නොයන සද සිහිනය
නිල් නුවන් තෙමා.


නොකීවද මගෙහි  සළකුනු
නුඹේ සිත  පෙලන නිරතුරු
අසා දකින තුරු දිව, රෑ
හඩන යුරු පෙනි.


ලොවේ කොතැනකට වී හෝ
නුඹේ කදුලු ඇස් දැක, දැක
දමා යන්න බැරි හන්දා
දෙපා පැටලිලා.


උදේ රෑ කියා වෙනසක්
නැතිව නුඹව කැදවූවත්
මගේ ලොවට එන්නට යලි
දෑස් අඳ වෙලා


ඒත් මම දනිමි දවසක
සිහිනයෙන් මිදුන මොහොතක 
එදා වගෙම යලි හිනැහී
නුඹ එතැයි කියා.

09.8.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්



Tuesday, 1 November 2011

මගේම ආදරනීය..................





ගන දුර හැලෙන රෑ පින්නේ පැලට                         වෙලා
අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා                     වෙලා
පැදුරට වැටෙන කදුලක බර එකතු                          වෙලා
සීතල සුලග ඇයි මේ හැටි නපුරු                            වෙලා


කඳු යායට උඩින් අඬ සද බැස                            ගොසිනී
මූසල රෑහි හඩ නැග එයි තුරු                                  මතිනී
ලග සිටි නුඹත් මා ලග අද නැති                             බැවිනී
එක සද නොවේ සියයක් බැස ගියා                          වැනී


පැල තුල වැතිර සීපද කිව්වා                                    එකට
යායක ඉරිගු මල් පිපුනා නොවැ                               අපට
කොයි? ඒ ගී සින්දු අද නැහැ                              අහලකට
හීනෙන් මිසක නොපෙනේ දැන් නුඹව                       මට


වැව් දිය පතර මල් නෙලලා මා                                අතට
දුන් නුඹ නිසා මල් පිපුනා මා                                   හිතට
මා තනි වූවත් අද පැල තුල කල                                පවට
මේ මල් තවම පූදින්නේ නුඹේ                               නමට


සුලගේ සුසුම් හඬ නුඹටත්                           ඇහෙනවද ?
අහසින් වැටෙන කදුලක් හෙම                පෙනෙනෙවද ?
සීතල ඇවිත් ගේ දොරකඩ                              සිටිනවද ?
මට මෙන් නුඹට එතකොට දුක                    හිතෙනවද ?


අඳුරත් පාළුවත් උහුලනු බැහැ                              මෙමට
නුඹ දැල්වූ පහණ අද නැහැ පැල                             තුලට
දහසක් හැගුම් උපදිනවා                                    කළුවරට
නුඹ නැති හෙටට හිරු පායන්නේ                           කුමට



14.06.1998 වෙනි දින ලියන ලද කවි පංතියක් 

Monday, 24 October 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....












නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

Wednesday, 5 October 2011

ස්තූතියි

ස්තූතියි ඔබ සැමට





       වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග්  වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දරුවන්ගේත්  ස්තූතිය පිරිනමමු.
                                                                                                                
ස්තූතියි!

පවුලේ සැම දෙන


           
                                                                                                                    

Wednesday, 24 August 2011

හීනියට පෑ සිහිනෙකි



හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී

රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී

නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා

දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණා‍ටුව හද දොර හරී

පියාඹන විහඟුන් ‍රැහේ
යළිඳු එයි ‍රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත්  මෙහේ

බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා