Monday, 24 October 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....












නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

Wednesday, 5 October 2011

ස්තූතියි

ස්තූතියි ඔබ සැමට





       වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග්  වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දරුවන්ගේත්  ස්තූතිය පිරිනමමු.
                                                                                                                
ස්තූතියි!

පවුලේ සැම දෙන


           
                                                                                                                    

Wednesday, 24 August 2011

හීනියට පෑ සිහිනෙකි



හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී

රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී

නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා

දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණා‍ටුව හද දොර හරී

පියාඹන විහඟුන් ‍රැහේ
යළිඳු එයි ‍රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත්  මෙහේ

බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා


Saturday, 2 July 2011

ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු....




ගිහින් බොහෝ දුර බැඳ මහ දිග පවුරු
ඇහින් නොදු‍ටුවත් කල් ඒ හා සපිරු
සිතින් ලංවෙලා එක සිහිනෙම වැපුරු
ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු


ඈත් කර විහඟ ගී පද පෙල මියුරු
කාත් කවුරුවත් නැති කතරක ඇහිරු
මාත් නැති වුනා මගේ තනියට වැපිරු
ඒත් ඉතිං නුඹ සඳ තරු මෙනි සොඳුරු


අව්වේ තිබුන ‍රැස් මාලාවට නපුරු
හෙව්වේ සිහිළසකි නුඟ සෙවනක පැතිරු
ගව්වේ දුර යොදුන් දුර වී ඉඩ ඇහිරූ
කිව්වේ නුඹම මිස මං සළකුණු කවුරු


දැකත් සිත් පුරාවට පීදුන අයුරු
සිතත් සත්තකින් ඒ පැතුමම සපිරු
පිපෙත් බොහෝ විල් මල් රුව ගුණ පැතිරු
නුඹත් එවන් මලකිය රුව ගුණ ඉතිරු


පෙරයම් කල් ගෙවී මැදිවිය බිඳ පවුරු
දුරනම් නොදු‍ටුවෙමි නුඹ දකිනා අයුරු
වැරයම් නොකොළ මුත් උඩු ගං ඉම සපිරු
ඉරණම්කාරි නම් නුඹ මිස වෙන කවුරු....



කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු 


Thursday, 26 May 2011

මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම



ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ
එයින් බොහෝ කලකට පසුවත් නො එන
කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ
සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන


සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම
ගතින් බොහෝ දුර වුව හිතහිත ළඟම
උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම
මගින් මඟ බලමි,කෝ  කියු අරුම


පියා සලා දැක මල්වතු උයන් දොරින්
නියාමය නොවූවත් නොපනතෙහි ලොබින්
ගියාවද නුඹමනැතිනම් ‍රැගෙන ගොහින්
කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින්


තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට
දැනුනත්අහලකින් ඇස් මායිමෙන් පිට
නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට
සැනසෙත්,නුඹත්  බව නම් දැනේ මට.


කල්බලා හිඳන් මල්සර විදි  දුන්නේ
සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ
වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ
දන්වලා එවනුමෙහි කවදද එන්නේ..... 
කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු