29.04.2010 දින සිඩ්නි විසින් මගේ සමරැ පොතේ ලියන ලද්දක්
Thursday, 26 May 2011
මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම
| ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ එයින් බොහෝ කලකට පසුවත් නො එන කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම ගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟම උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම පියා සලා දැක මල්වතු උයන් දොරින් නියාමය නොවූවත් නොපනතෙහි ලොබින් ගියාවද නුඹම, නැතිනම් රැගෙන ගොහින් කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින් තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට දැනුනත්, අහලකින් ඇස් මායිමෙන් පිට නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට සැනසෙත්,නුඹත් ඒ බව නම් දැනේ මට. කල්බලා හිඳන් මල්සර විදි දුන්නේ සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ දන්වලා එවනු! මෙහි කවදද එන්නේ..... |
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු
Tuesday, 17 May 2011
නොකියු වෙසක් කවි
බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරු
හුදු අපේ, අපේ කම්වල මං අහිරු
පුදුමෙකී ගෙවුණ කල, හිමියනි මහරු
ඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ
සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකින
මල් පහන් පුදා, හිත් මලකඩ කඩන
අල්ලමින් එකම නවගුණ වැල සොඳින
කල් බලයි ඉදන් අල්ලාගෙන කෙමණ
හිත් පුරා ක්‍රෝධ, ඊර්ෂ්‍යා වන් පිරුණ
මත් වෙමින් බොහෝ නොපණත් කම් කරණ
අත් බවෙන් මිදෙන මඟ නැණ නෙත අඳින
සිත්තරා ඔබයි බුදු හිමියනි! හැදිණ
ශාස්තරේ දැන නොදැනුණ සේ ඉදිති
ඈත්කරේ දහමයි, පන්සල් වැහෙති
පාත්තරේ දන් නොව ,මුදලින් පිරෙති
මෝස්තරේ කට කවුරුත් පින් කරති
ගෙවී සිය දහස් වසරින් කල් පිරුව
නොවී සැනසුමක් වල්මත් වී දුරුව
සෙවීමට මඟක් මෙතුවක් කල් බැරුව
අනේ හිමියනේ අපි පෙරළන් ඔරුව
කවි සොයා බලමු
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු
තවත් අය හා බෙදා ගනිමු
Monday, 2 May 2011
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ
තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ
කොනිත්තන්න වත් මතකය මට නූයේ
විපත්තිනම් එක පිට එකමයි වූයේ
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ
ඇවිත් යන්න එනවා කියලා ගියද
අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද?
නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද
කවිත් එපා වෙන්නට අරුමය කිමද
ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට
මිදිත් තිත්ත බව නොකියා කීවාට
කලුත්ගොස් කේජු රස නැති වූවාට
හෙනත් ගැසුවේද පැණි වරකා ගහට
කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව
ගියත් බොහෝ දුර කිරි කළ බිම හැළුව
තවත් පමා නැහ, කොක්කුන්ගෙන් දුරුව
ඇවිත් ගියා නම්.... ! දැන් ඇති කල් බැලුව.
කවි සොයා බලමු,
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු,
තවත් අය හා බෙදා ගනිමු
Sunday, 1 May 2011
සඳ ගිනි ගත් සද
කොනිත්තමින් මතකය රිදවුම් දේය
තරුත් නිවි වළා පට දොරගුළු ළාය
නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය
සඳත් නිදිවරා ගිනි ගත්තා සේය
පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය
තවත් හැඩවෙමින් සයුරට හිත පෑය
ගියත් සුළඟ හා බොල් වී සමුදාය
අමුත්තක් ඇයිද කෝ? සඳ රැස් යාය
දියත් පතල මුත් නුඹේ සොමි ගුණ සෑය
නිරුත්තර වුණේ සඳ අබියස මාය
බලත් ය මා දෙස, හැඟවෙන්නා සේය
නමුත් දනිමි මම, මා දෙස නොබලාය
සිරිත් සව් සපිරි වට මඟුලක් සේය
යළිත් හෙට දිනේකදි සඳ නැඟ ඒය
තරුත් හිනැහෙමින් සඳ හා නැලවේය
එදත් මට මෙසේ සඳ ගිනිගත් සේය...
Monday, 18 April 2011
සිහිනෙන් ගෑ සුවඳ
සිතුමිණ සොබාවා
මාසිත පහන් වූවා
ඒ එළිය ගාවා
තව සිතක් බැබළෙමින් වූවා
පෑදී දිය ලෙසින්
දුටුවත් මහරු විලසින්
බොර දියට හැරෙමින්
බොඳවුණේ ඇයි සිත හඬවමින්
සිහින් මඳ නැල්ලේ
අසිරියෙනි නැළවිල්ලේ
තනිව ළතැවිල්ලේ
හැඩූ කඳුළිනි සිත තැවිල්ලේ
සිහිනෙන් ගෑ සුවඳ
සුවදේ නිදියනා සඳ
ඇහැරී සිහින මැද
සොයන්නේ ඇයි ඒ සුවඳ පොද
නුඹේ නමට කැපවී
ඒ සිහිනයෙම රැඳවී
ලැබූ පිය පදවී
තබා මාළඟ කොහිද සැඟවී
නොවී සිත එකලස්
හැඬූවද කදුළින් රොස්
බැඳි පෙමෙහි අනුහස්
වලින් හඬනා හිතද වේ තොස්
තුටින් මඟ බලමී
එනතුරු ඇඟිලි ගනිමී
පුදුමෙකට නොනිමී
ඇඟිලි අතරෙහි දවස් හරිමී...
Sunday, 17 April 2011
යන්නේ කවදාද මහ රජු දකින්නට
අළුත් ජනකවි 8 මෙතනින් කියවන්න
කන්නේ මාළු මයි හිතෙනා විටින් විට
බොන්නේ ලැබෙන දේ කළ පව් වලින් පිට
ඉන්නේ කැළණියේ පරවේනියයි මට
යන්නේ කවදාද මහ රජු දකින්නට
මං බාලේ පටන් වැලි කෙලියේ මිතුරු
දැං රාලේ රජුන් හා කෙළි නම් නපුරු
මුං කෝලේ කලත්, දවසක දී නුඳුරු
අං ලීලේ බලන්නට එන්නෙද කවුරු
ගස්සා අඩි තබා ලොක්කා වෙමිය කියා
පුස්සා නටපු හැටි දැක්කම හිනහ ගියා
බස්සා වගේ හිටියට නොදොඩමින් පියා
නිස්සා නිසි තැනදි උස්සා තියයි එයා
පිට ඉදන් අපිට බැන අඬ ගැසු වාර
ගෙට ඇරන් යන්න පෙන්නා දුනි පාර
හොට ඇනන් විහින් නැති වුන කල ධූර
මට නොවේ අඩව් නැට්ටුන්ටයි බාර
කවී කී කට කෙදිරි ගානා නියාවේ
අවි බිම තැබූ අපිට කවුරුත් හිනාවේ
සවියට අපේ වඟක් වත් නැති වෙලාවේ
මැද පෙරදිග රැල්ල වත් වාසනාවේ
Saturday, 16 April 2011
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි.....
තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි
විටින් විට මතක මං පෙත් අහුරමිනි
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි,
නොවී පමා අනුදත් කව් ගී මතුර
තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර
සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර
ගෙවී ගිය වසර, දින ගනනක් විතර
රන්දා සිනාවෙක දුක රැඳුන කඳුලෙක
බින්දා වුව සිතැඟි දැන නොදැන කාලෙක
හින්දා හිත මිතුරු , සිත් බැඳුන යායෙක
මන්දාරමක් නැහ මෙහි පෙනෙන මානෙක
ලියු දේ සිත් බැඳුනි, සිත් බැඳි දේ ලීව
කියු දේ ඉටු නොවිනි, ඉටුවෙන බව කීව
පියුමකි සිත් විලේ, පිපි සැනෙකින් දෑව
සෙයුවෙමි මම, තවත් හමුවී නැත මාව
විස්තර බොහෝ විය ගී කවියට හැරුණූ
ඉස්සර වගේ ඒ ගී කව් රස නොව්නූ
ඇස් හැර බැලූවෙමි බොහො දෙන, නැත රැඳුනූ
දුස්කර වෑයමෙහි ඔය ලෙසටය කරුණූ
ඇතිවී නැතිව යන දිය දහමට නතුව
නිති සරදමට ලක්වේ හැම දේ පැතුව
ඉතිරෙන සුභ පැතුම් පොද වැස්සෙහි තුටුව
සිතිවිළි වළාවකි, සැඬ සුළඟෙක මුසුව
මිතුරනි ඉතින් බ්ලොග් පිටුවල සැරි සැරුව
සතුටිනි නොමින් හෙට දවසක් ගැන පැතුව
නිදුකිනි නිතින් තව බෝ කල් යල් තුටුව
සපැමිනි ලෙසින් විත් මෙහි, යනු මැන කැටුව
Wednesday, 13 April 2011
Tuesday, 12 April 2011
හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා
ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ
කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ
තවත් මතක මතකෙට නොනැගෙන මානේ
නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ?
විස්තර අසාගෙන යනමං දැන හැඳින
ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින
ඇස් හැර බලන්නෙද පෙරදා දුටු සිහින
නිස්සර අකුසල් ද මේ කුසලට හැරුන
ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ
කැපවී සිටින්නේමි ශුභ නැකත ගෙන අතේ
ඇපයට සංක්‍රාන්තිය නොවෙද ජීවිතේ
අපහට කොහෙද අවුරුදු තවම නොනගතේ
රන්දා සිනා, වත සඳ මඬල කිති කවා
මන්දාරම් කඳුළු ඉකි බිඳුම නැවතුවා
වින්දා අසිරි සිරි තරු පොකුරු විසුරුවා
හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා
..
Monday, 28 March 2011
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා
ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා
සියල් සිරිත් හැර උඩුගං බලාගෙන
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන
සුපුන් සඳේ තරු පිරිවර හා රැඳුන
ඉතින් නැවත මා එනතුරු මඟ බලන
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ
පිපෙන්න ඇයිද? මල් අකුලක රැඳෙන
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී
Saturday, 5 March 2011
සඳ වතක් වුනා නුඹ මට ,
සඳ වතක් වුනා නුඹ මට,
තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී නිතින්
දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
රැඳුනි දෝ ළඟින්
නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත් නුඹෙ වඟ
කොඳුරලා ගිහින්
දුර ගියත් හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ රැක
හිඳිනෙමී ඉතින්.....
Subscribe to:
Posts (Atom)

















