Monday 28 March 2011

ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා



ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා 
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා


සියල් සිරිත් හැර උඩුගං බලාගෙන 
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන 
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන 
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන


සුපුන් සඳේ තරු පිරිවර හා ‍රැඳුන 
ඉතින් නැවත මා එනතුරු මඟ බලන 
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ 
පිපෙන්න ඇයිද? මල් අකුලක ‍රැ‍ඳෙන



පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී 
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී 
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී 
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී

Saturday 5 March 2011

සඳ වතක් වුනා නුඹ මට ,


සඳ වතක් වුනා නුඹ මට,
 තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී  නිතින්

දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
‍රැඳුනි දෝ ළඟින්

නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත්  නුඹෙ වඟ
කොඳුරලා  ගිහින්

දුර ගියත්  හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ ‍රැක
හිඳිනෙමී ඉතින්.....