Saturday 23 October 2010

මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන



අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
කොල්ලට උගන්වන මඟ වැලකුවයි යකා
මුල්ලට වනු නොදී මතු පරපුරක් මකා
ගොල්ලට එකතු නොමවව් ! ඉදිරි වැඩ තකා


සතර දැන ඉගෙන මං පෙත් හදාගෙන
එතෙර වන තැනෙදි අං පටලවා ගෙන
නිතර කී කතා යළි යළි දෙසාලන
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන


ඇවිත් පැන කඩුලු අභියෝග ජයගෙන 
පුවත් දැන.. නොදත් ලෙස වළං බිඳගෙන
දොහොත් දී පුදන ගුරු පියන් වටලන
තවත් මෙහෙයුමක් දෝ රටක් අවුලන


හඬ නම් තරුණ හඬ සරසවි ජයගත්තෝ
වැඩකට නොමැති අරමුණු වල වී ගැත‍තෝ
ඉඩ නොතබා විහින් මඟ අහුරා ගත්තෝ
අඩ පණ කරයි සරසවියම වී ඉත්තෝ


කඩ ඉම උසස් පෙළ ලකුණක දෙකක නොමින්
හැඬ වෙන දූ පුතුන් පිටතයි ඇතුලේ නොවින්
ඉඩ ලඳ පිනින් ඇතුලට ආ අසුරු සැනින්
මැඬ වෙන දූ පුතුන් එන මඟ අගුලු නොලන්


‍රැසක් පුතුන් දූවරුනගේ නෙත්  හදන
දොරක් ඇරෙන..හෙට ලොව ජය ගනු ලබන
දිනක් අත ලඟම බව දෙස් දෙන බැවින
එකක් නොව ‍රැසක සරසවි දොර ඇරෙන


යන්තරේ හොදයි නම් වැඩ නිරවුල්ය
මන්තරේ තමයි හැමදාමත් හෙනය
පිංකරේ නැතිදු ලබනට විදු එළිය
අන්තරේ ගෙනෙයි හැමොටම රතු එළිය.