Thursday 29 April 2010

සඳවත.....

.
Moon 58 Lovely Face Images


සඳවත......


පුන්සඳ ඈත අහසේ එක කොනක සිට
නුඹෙගේ සොඳුරු වත සිහි ගන්නවයි මට
එන්නද තව පමා නොමවී නුඹෙ පැලට
යනුවෙන් කියනවද කියලා සිතුනි මට


සැන්දෑ අහස සිල් ඇරගත් වතු සුද්ද
මල් යායක්ය නුඹ එහි නොකරම සද්ද
මා දෙස බල බලා හැංගී ගෙන වත්ද
ලංවනු නොහේ ඇයි, මං බෝ දුර වත්ද


පාවී නිරිත දිග මෝසම් සුළගක්ව
ආවා අගෙයි නිවමින් ගිනි, වැස්සක්ව
ගාවා සියොලගම, නුඹ මුඳු සුවඳක්ව
පෑවා මෙන්ය සෙනෙහස  පෙම් ගඟුලක්ව


සැදී පැහැදෙමින් නුඹ වෙත බැ‍ඳෙමින්නේ
හිඳී කෙනෙක් සඳවත දෙස බලමින්නේ
දිදී නෙත් කැළුම් හඳවත බඳිමින්නේ
නොදී බහක් ඉනු! මම මේ ළඟ එන්නේ

Wednesday 28 April 2010

සෙනෙහසේ විහඟ ගී


























සෙනෙහසේ විහඟ ගී


සාර සියක් ගව් දුර මඟ ගෙවාගෙන
පාර සොයා ආවෙමි නුඹ සොයාගෙන
නෑර නුඹේ අත,තුරුලෙහි හොවාගෙන
පාරමී පුරමු සිත් පුබුදුවාලන


අව්වේ තිබුනු ‍රැස් මාලා අඩු වීය
ගව්වේ දුරත් ඇස් මායිම  නුදුරේය
ගෙව්වේ  පව්, මැකී පින් පල දුන් සේය
හෙව්වේ  නුඹයි, නුඹ මෙතුවක් කොහි වීද?


හීන බල බලා තනි යහනෙ සැතපුන
පේන බල බලා කල් ගියෙද කොපමන
මාන බල බලා උක් දුන්න ඇරගෙන
පේන මානයෙක මල්සරා හිඳගෙන 


පාවී සෑම සිහිනෙම නුඹ ඉන්නේද?
පේවී නිතින් සියොලඟ  දැවටෙන්නේද?
මාවී පූදිනා සේ හිනැහෙන්නේද?
දේවී නුඹයි ,ඔය දෑතම දෙන්නේද?


ගොතා ගෙන මාලේ වතුසුද්ද මල් වලින්
පතා නුඹේ හස‍රැල් රෝස තොල් වලින්
ඉතා මත් සොඳුරු වත සිත පුරා ඇදන්
කතා කරණ තුරු ,ඉමි නුඹ ළඟම ඉදන්

Sunday 25 April 2010

වියෝගී............

















වියෝගී............
පියාදර තෙපුල් උණුසුම ‍රැකවරණ
දයාබර නුඹේ සෙනෙහස මත ‍රැදුන
ගියාවද කොහේ, මම තනියම මෙතන
සුවාමිනේ පාළුයි මුළු හද විමන


සිත් සන්තොසින් කළ කී දෑ වී පිළුනු
නෙත් කදුලක් වුනේ ඇයි ? නොදැනී කරුණු
පත් වී අඟතියක හෝ නපුරක දැවුනු
මත් සළලෙක් වුනාවද, හිමියනි කියනු ?


සැමරුම් සපිරි යුඟ සුනරුත් වී නපුරු
සරදම් සිනාමය , කෝ ? සිනහව සොඳුරු
ගුණදම් සෙනෙහෙ දම් බිඳ , බැඳ රුඳු පවුරු
මනරම් විජිතයට වින කෙ‍ටුවෙද කවුරු


දිය පිට ඇඳුන රේඛා සේ පැතුම් පොදී
වියැකේ දිනෙන් දින මතකය රිදුම් දිදී
ගිය දේ ගියාවේ යනුවෙන් නුඹෙන් මිදී
මිය යනු හැරපියා හසරක් නොහේ සැදී


සියපත් සේ සුසිදු නුඹ වෙත බැඳි පෙමිනේ
මා ලත් වියෝ දුක් කඳ උහුලමි ඉතිනේ
ආවත් නො ආවත් සුපුරුදු ලෙස තුටිනේ
කවදත් හද විමන නුඹටයි හිමි සදුනේ!


සී,එස් බණ්ඩාරනායක

Friday 23 April 2010

නික්ම යෑම














නික්ම යෑම
  


හඳේ  විකසිත වු පැතුම් මල
සුවඳ දේ තාමත්
රොදේ බැඳ ආ බොහෝ දුර
පාරවයි  සිහිවී සිත්
සඳේ තනියට පුංචි තරුවක්
වෙමි කියා කී වත්
ලදේ නුඹ ලඟ ‍රැදෙනු නොහැකිය
මෙලෙස හැමදාමත්......


ඔහේ අරමුණු නොදැන, නොමැතිව,
මඟ ගෙවා ආවත්
ඉහේ පිපි මල නුඹය එදවස
සදා දී මා නෙත්
කොහේ සැඟවී ගියත් සුපසන්
සෙනෙහෙ වී සුනරුත්
ඇසේ සුමියුරු තෙපුල්, ගී, කවි
එදා මෙන් තාමත්....


දොඩා කළ කී දෑ සියල්ලට 
තබා අවසන් තිත්
විඩා බර නෙතු පුරා කඳුලින්
සමු දෙන්න සිතුවත්
වඩා දුක නෙතු වලට විතරද
සෝ දුකිනි හදවත්
හඬා පියමං කරමු දෙපසට
පාරවා මුඳු සිත්..


සි. එස් බණ්ඩාරනායක

Wednesday 21 April 2010

ප්‍රේමයේ අවපස













ප්‍රේමයේ  අවපස


දනිමි මම.........
නුඹ,  මා අතහැර
ඉගිල යනු පියඹා....
නොනිමි සෙනෙහස
පෑ.......හදෙහි......
සෝ තැවුල්
සදවා..




පියෙන් පිය නොම
ආ....................
අහඹු පෙම
නිවු දිවි සරතැස්
නුරා ගින්නේ
දැවෙන්නට නම්
කුමටදෝ පෙම් බස්




නොලැබෙනා සඳ තරුම
ඉල්ලා....................
හැඩූ බොළඳ බාලේ
විලසිනා හැමදා
යදින්නද
නොලැබෙනා ආලේ........................




සි.එස් බණ්ඩාරනායක


09.12.1996

Tuesday 20 April 2010

Monday 19 April 2010





















සඳේ සාක්කිය....


ඉස්සර වාගේම පුන්සඳ පයා 
හොරෙන් හොරෙන් විත් පැලට මගේ
නුඹලා ඉන්නා ඉසව්ව දන්නා 
බව කියලා මට ගියා නඟේ


නුඹට කියන්නට අක්කන්ඩියෙ අපි
මෝඳු වෙනා පුන්සඳ පල්ලා
අපි ගැන විස්තර කියා එන්න යැයි
හැමදාමත් හිටියා ඉල්ලා .....


බෙදා හදා ගත නොහැකි නමුත්, නුඹ
මගේ උරුම හැම පොඳි බන්දා
සඳට හොරෙන් ගෙන සැඟව ගියපු යුරු
කොහොම හිතා ගන්නද මන්දා


සඳ වතුරක් වන් නුඹෙ පෙම් විජිතය
සඳට හොරෙන් ගත්තා සත්තයි
ඒ පෙම රහසේම මමත් විඳින්නට
පෙර පින් පල දුන්නාවත් දැයි.........


හද විතරක් නොව මුලු ගේ පාලුයි
සොරු ගත් සඳ මිනි පහණ මගේ
සිතුනිද? කිසිදා කළ දේ හරි යැයි
මවකි නුඹත්.... මට කියන් නඟේ...


කෙරුවට නොව සත්තකින්ම සත්තයි
නුඹේ කඳුලු නොදැනුනා නොවේ
හරියට තවමත් බතක් ඉදෙන් නැහැ
නුඹලා හැම සිහිනොකර මෙහේ.......


හීන නැතිව ගෙවු කාලය කොපමන
උනත් අනේ මම විඳගත්තා
පේන ඉසව්වක අප්පච්චි නැති
දුකට පුතුන් හැඬු හැටි දැක්කා


මෙහෙත් එහෙමමයි නිතරම අය්යලා,
ලොකු අම්මා ගැන අසමින්නේ
නුඹලගෙ රුව ගුණ ඉව අල්ලමිනුයි
දුවලා නිතරම වැලපෙන්නේ..


ඈත් උනත් පිය සෙනෙහසෙ උරුමය
දරුවන් මයි නිති විඳ ගන්නේ
මාත් ඉතින් දෑන් ඒ ගැන සිතමින්
නුඹලා එනතුරු මයි ඉන්නේ


කෝම කියන්නද  අක්කන්ඩියෙ මම....
සතුට අපේ දරු පැටවුන්ටයි
බෝම පිනක්මය ඒ පින නුඹටයි......
ජාති ජාති අත් විඳගන්නයි.



නොදනිමි.........

නොදනිමි.........


වසාලා  දොරවල්
බෝ.....  කලින්
අඳුර ගෙට ඇවිදින්
යොමා මගට නුවන්
මා  එනතුරු...........
කෝ......... නුඹේ  හසකැන්


තෙමා නෙතු කදුලින්
හකුළුවා
සිනා වත පරොසින්
සුසුම් ළතැවිල්ලෙන්
නෝක්කඩු
ඇයිද මේ  තරමින්.


සි.එස් බණ්ඩාරනායක


1996.02.27

Sunday 18 April 2010

කෝ.............එන්න..............

කෝ.............එන්න..............


1996.02.05 ලියූ මේ කවි පෙළ අදට කිසිසේත් ම නොගැලපෙන බව මම හොදින් දනිමි.මීට දශක එක හමාරකට පෙර අප පෙලූ තුන්බිය අද අපට නැතත්,තවත් නා නා ප්‍රකාර බිය නැතුවම නොවේ.
එය එසේ වුවත් අද මේ කවියෙන් කියන තල් වැට මාඉමෙන් එහාට අපිටත්,  තල් වැට මාඉමෙන් මෙහාට ඔවුනටත් ආ ගිය හැකි දවසක් උදාවෙලා තියෙනවා.
ඒ ගැන ඇත්තටම සතු‍ටුයි.


සදෙව් ලොව තු‍ටු මතින් සරණා
දෙව් බඹුන් විසිරෙමිනා
නුඹේ කොවිලෙහි,... මගේ දෙවොලෙහි,....
ඇයිද?  මේ විරසකිනා
සාමයේ සුදු පරවියොත්
යුද විරාමෙදී මිය ඇදුනා
මමත් නුඹ මෙන් උපන් බිමෙහිම
සරණාගතයෙකු  කරවා.........




නෑ දන්න කිසිකෙනෙක්, මේ දුක.......
කොයි කල්ද , අප පෙලෙනා...........
පායන්න හිරු... අදුරු පට බිඳ
නවෝදෙට මඟ සරසා
පේ වෙන්න එක පියස්සක් යට
හෙළු කදුලැලි පිසදා
කෝ..... එන්න තල් වැටෙන් මෙපිටට
සිනා සඳ කැන් පොබවා.


සි.එස් බණ්ඩාරනායක


1996.02.05 

කල් බැලීම........

කල් බැලීම............                      

පිපී මුව තඹර ලෙද
දකිනු රිසි නොවුනද අද
ඉඳ සිප බැද වැළද
කියු කතාවන් මතක නැතිවද ?

ආ ගිය ගමන් මග
සැමරුම් නම් නොවේ හිග
වියලි සෙනෙහෙ ගඟ
කීමද කදුලක් වුනෙ නෙතු අඟ

ක‍ටු කොහොල් පිරුණු
බිද මහපවුරු බැඳුනු
නුඹට කැප කෙරුණු
කැකුළු මල කෙලෙසකද තලනු

නියං මහ සායේ
දිවි මඟ දුකම වුයේ
නමුදු අත පෑයේ
වෑහි වලාවක දෙවිදු  නාවේ

නොවී සිත එකලස්
ඉකිබිදී හිනැහුනු  ඇස්
සදා දී දොම්නස්
නොපෙනෙනා ලෙස බොහෝ    දුර ගොස්

පැමිනි මඟ  සිහිවී
දෙපතුල් රිදුම් දේවී
සිහිනයක පාවී 
ඇවිත් නළලත සිඹිනු පේවී


සි එස් බණ්ඩාරනායක

හීනෙන් ඇවිත්.............



හීනෙන් ඇවිත්...........                                                 


පිපුනත්  නුඹේ  ගේ  දොරකඩ අතගාව
දිලුනත් සුවඳ  දී නුඹටම ; අතපෑව
කවදත් නුඹෙයි මට ; අද වෙනතක ආව
තවමත් නුඹේ සුවඳයි  මගේ හිත ගාව


දුර නොපෙනුන නිසා මෑතම බලාගෙන
කරදර ඉවර විනියැයි හිත හදාගෙන
බර හිසමතට ගෙන වීරිය ලබාගෙන
වැරදෙන තුරුම යමි දෙනුවන් පියාගෙන


බෝසත්  ගුන සපිරි යහගුණ සමුදාය
මා සිත්  ළතැවුලෙන් දවසක මුදවාය
නෑවිත් ගියත් රුව සිත බැදි ; පෙරසේය
මා නෙත් අඳ වුනේ නුඹ ළග නැතිදාය


පිපි කුසුමක් ලෙසින් නුඹ ලග මිලිනවුන
හැපි හැපි ; බොහෝ දේ ජය ගෙන එතෙරවුන
නොපිරුන නිසා පිං නුඹෙළග නතරවන
වැගිරෙන කදුළු මිස මොන සැනසුමද     වෙන


රෑ  බෝ වෙලත් මඟ බලමින් සිටිනවද ?
කෑවත් නැතත් එක පතටම බෙදනවද ?
මා මෙන් ඔබත් එක හීනෙම දකිනවද ?
හීනෙන් ඇවිත් රන්කඳ තනි රකිනවද ?


සි එස් බණ්ඩාරනායක

බිරිඳ නම් වූ ඈය........

බිරිඳ නම් වූ  ඈය........


මහා දිගු ගමනක් වු
සංසාර කතරේ
විඩා සිදුවා නිවා සරතැස
මහා මන්ද්‍රි දේවි විලසින්
දැරූ දුක් කඳ මාත් සමගින්...........   


නොපෙලා සිත් සතන්
නොපවසා නොසරුප් වදන්
ඉවසා සම සිතින්
සැපක් නැතිවත්, දුකම නිතැතින්
මතුවටත් සසරේ
උපදිනා හැම ආත්මයකම
පතා ගෙන නැවතත් මං.......


සිහින් සෙවනැල්ලක් මෙන්
නිරතුරුව මා ලඟම ‍රැදෙමින්
කඩා හැලෙන ආත්මයටම
ප්‍රාන වායුව පිඹිමින්
වසන්තය සේ ‍රැදෙමින්...........
පහන් තරුවක් විලසින්


ගීතයක් සේ පාව එන්නී
ඈත සිට මග කියා දෙන්නී
දෑත පා එන මග බලන්නී
සීත ලට උනුසුම දෙවන්නී

සි එස් බණ්ඩාරනායක

1999.11.19

Saturday 17 April 2010

සඳට ලියු කවි





සඳට ලියු කවි


නිදිබරයි දෙනෙත ‍රැ නිදි  වැරුවාම
හිත හඬයි නිතර දැසට නොකියාම
හරි දුකයි මෙලෙස නොරටක  තනිවිම
පොඩි පුතුයි නුඹයි සිහිවේ  හැමදාම


හරි හැඩෙනි අහසේ තරුවැල් දිළෙන්නේ
කිරි සිනා පුතුගෙ සිහියට නැගෙන්නේ
සඳ විනා කවුද මට තනි රකින්නේ
මොන බොරුද නුඹයි එලෙසින් සිටින්නේ


සීතලයි හරිම හිරිගඩු පිපෙන්නේ
ඇයිසදේ මෙහෙම ඉකිබිදි හඬන්නේ
තරුමලක් නේද ඔය ලඟ හිදින්නේ
නැහැ නුඹයි පුතුව නිදි කරන්නේ


මේ වළා පෙළක් පෙරහර හදාගෙන
නෑ ගමන් යතේ සඳ තරු නිවාගෙන
මොහොතකින් යළිත් යැටසින සිනාසෙන
ඒ නුඹයි මහඳ සරතැස නිවාලන


දැන් ඉතින් ගොඩක් ‍රැ බෝ වුනානේ
සුරඟනුත් සමග පොඩි පුතු හිනාවේ
යලි හෙටත් මෙලෙස හමුවෙන වෙලාවේ
සඳ ‍රැසින් මගේ ලොව  නැහැ වුනාවේ




සි.එස් බණ්ඩාරනායක






ළතැවුල්

ළතැවුල්


බැස යන්න සඳක් ලෙස
මා හෙලා පාලුවේ
රිදවන්න තවත් සිත
හැමදාම මේ ලෙසේ
නොවිදින්න වුනේ ඇයි
මල් සරා හී සැරේ
හිනැහෙන්නෙ කවදාද
ඉතිං මම නුඹෙ ලොවේ


දොවා සඳ දියෙන් ගෙන
පිදු මුදු ආදරේ
දිවා ‍රැය නුඹේ ලඟ
නොවේදෝ සැතපුවේ
ප්‍රියාවිය,............ තවත් 
නොදෑනෙන්නේද ඒ සෙනේ
රන් රුවන්වලටදෝ
නුඹේ සිත යා වුනේ


පිපුණුමල සුවඳ දි
අත පොවන මායිමේ
විඳින පින නොවුයේ
සෙනසුරුද කාරණේ
ලැබැදි සිත් වලටමද
මේ තරම් සෝගිනි
නිබදවම තැවෙන්නද.........
සතු‍ටු කදුළක් නොදී.


සි.එස් බණ්ඩාරනායක

Friday 16 April 2010

ආයුබෝවන්..

ආයුබෝවන්....


ගෙවා සරතැස බොහෝ දුර විත්
මුහුදු හතෙනුත් එහා..........


ගෙවුන කාලය බොහෝ විය
දුරු රටක වී හුදෙකලා.......


"සයිබර්" අහසේ අපව එක්වෙන
නිමේෂෙක ඉසිබුලා........


තබනු මැන!  සටහනක් හෝ
ගුණදොසක් තු‍ටු සිත් අරා........


සි.එස් බණ්ඩාරනායක

සඳේ සාක්කිය....




ඉස්සර වාගේම පුන්සඳ පයා 
හොරෙන් හොරෙන් විත් පැලට මගේ
නුඹලා ඉන්නා ඉසව්ව දන්නා 
බව කියලා මට ගියා නඟේ


නුඹට කියන්නට අක්කන්ඩියෙ අපි
මෝඳු වෙනා පුන්සඳ පල්ලා
අපි ගැන විස්තර කියා එන්න යැයි
හැමදාමත් හිටියා ඉල්ලා .....


බෙදා හදා ගත නොහැකි නමුත්, නුඹ
මගේ උරුම හැම පොඳි බන්දා
සඳට හොරෙන් ගෙන සැඟව ගියපු යුරු
කොහොම හිතා ගන්නද මන්දා


සඳ වතුරක් වන් නුඹෙ පෙම් විජිතය
සඳට හොරෙන් ගත්තා සත්තයි
ඒ පෙම රහසේම මමත් විඳින්නට
පෙර පින් පල දුන්නාවත් දැයි.........


හද විතරක් නොව මුලු ගේ පාලුයි
සොරු ගත් සඳ මිනි පහණ මගේ
සිතුනිද? කිසිදා කළ දේ හරි යැයි
මවකි නුඹත්.... මට කියන් නඟේ...


කෙරුවට නොව සත්තකින්ම සත්තයි
නුඹේ කඳුලු නොදැනුනා නොවේ
හරියට තවමත් බතක් ඉදෙන්නැහ
නුඹලා හැම සිහිනොකර මෙහේ.......


හීන නැතිව ගෙවු කාලය කොපමන
උනත් අනේ මම විඳගත්තා
පේන ඉසව්වක අප්පච්චි නැති
දුකට පුතුන් හැඬු හැටි දැක්කා


මෙහෙත් එහෙමමයි නිතරම අය්යලා,
ලොකු අම්මා ගැන අසමින්නේ
නුඹලගෙ රුව ගුණ ඉව අල්ලමිනුයි
දුවලා නිතරම වැලපෙන්නේ..


ඈත් උනත් පිය සෙනෙහසෙ උරුමය
දරුවන් මයි නිති විඳ ගන්නේ
මාත් ඉතින් දෑන් ඒ ගැන සිතමින්
නුඹලා එනතුරු මයි ඉන්නේ


කෝම කියන්නද  අක්කන්ඩියෙ මම....
සතුට අපේ දරු පැටවුන්ටයි
බෝම පිනක්මය ඒ පින නුඹටයි......
ජාති ජාති අත් විඳගන්නයි.


සි.එස් බණ්ඩාරනායක