Friday, 31 December 2010

අළුත් අවුරුදු කවිය



සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන
කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන
සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන
මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන

කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා
බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා
නෙතින් නොදු‍ටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා
හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා

කියන්නට තිබූ බොහෝ දේවල්  නොකිපි
ලියන්නට ලැබුන ඉඩකඩ ගැන වැලපී
නො එන්නට ගමන් යන තුරු  වැද සැතපී
පිපෙන්නට හරිමු මල්,  මල් ලොව නොපිපී

හි‍ටු කියා නවත්තාගනු බැරි බැවිනී
ඉ‍ටු වුනා නොවුනා, දින ගෙවිලා ගොසිනී
පි‍ටු පපා ගියත්, නව වසරට ලොබිනී
ත‍ටු  විදා පියාඹන්නට පින ලැබුනී......


Thursday, 30 December 2010

යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය





මල් උයන් මැදින් අත බැඳ ගිය තාලේ
විල් තෙරේ පිපුන මල් දැක බැඳි ආලේ
වල් වැදී මතක පොත අකුලන ලීලේ
කල් බලන් හිටිය හොදටම ඇති රාලේ


පින්නේ පිපුන බිම් මල වාසනාවන්
උන්නේ කොහිද මෙතුවක් වී මුලාවන්
දන්නේ නැති නමුත් සිතිවිළි මනාවන්
එන්නේ ඇයිද මේ ලෙස වැහි වළාවන්


රං මලේ වරුණ රන් මල නොදැක ගයා
ලං වෙලා හිතට,  හිත ගිය කරුණ සොයා
තුං යමේ සිහිනයේ  නිදි නැතිව පියා 
මං මෙහේ අවදියෙනි නුඹෙ නැතිව දයා


දුකින් දුක නසා පේවෙන සැපතකිය
හිතින්  නෙතින්  වැලපීමද අපුලකිය
කොහෙන් කෙලවරද, ඒ  මඟ නොවැලකිය
යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය




Tuesday, 28 December 2010

කල් බලන් ඉඳලම ඇතිවෙලා





නෙතු පියාගෙන හිත ගොළු වෙලා
නුඹ  හිතෙ පතුලෙම සඟවලා
සිතුවිළි කලලේ කල් සපිරිලා
කල් බලන් ඉඳලම ඇතිවෙලා


මුව සිප බදා  තුරුලට වෙලා
නුඹ කියු කතා නැත ගොළුවෙලා
මුළු ‍රැයම නෙතු පියවෙනු නොලා
ඒ සිහිනයම සිතුවම් කලා

නුපුරුදු නුහුරු සුවඳක ගලා
ආ මිහිරි මතකය පුරවලා
හිරු නැගෙන සඳ, හඳ බැස පලා
යන ලෙසින් කොහෙදෝ සැඟවිලා

රණ මොනර  නැ‍ටුමක පැටළිලා
යන ගමන ගැන අමතක වෙලා
නුඹේ මඟත් මම අවහිර කලා
ඒ  නිමිත්තම තවමත් බලා

කොයි කවුරු වෙද මෙය හිස සලා
අනුමත කරන්නට සැරසිලා
නුඹ වගෙ හිතට කීකරුවෙලා
ඇයි ?යන්න බැරි  මට නැවතිලා

දින දවස් ගෙවෙමින් පසුවෙලා
අපි අළුත් වී වියපත් වෙලා
නුඹ අතැර යන මතකය හලා
යනු නොහැක, ඇත මා සිත වෙලා

වස් දොස්  සියළු දුක් අකුලලා
නුඹ අළුත් ඇසකින් ලොව බලා
යන ගමන  ඈතින් ඉඳ බලා
සිත හදා ගමි ඈතට වෙලා

Friday, 24 December 2010

අළුත් ජනකවි 8



අළුත් ජනකවි  7  මෙතනින්  කියවන්න

පියයි මගේ උරුමය,  එලෙසම ‍රැක්කා
ගියයි ඔහුත් පුරවැසි පෙරමුණ එක්කා
ළමයිනේ වෙමින් නුඹලට දැනමුත්තා
මමයි රටට නොව සිරිකොතටම ලොක්කා


හම්බන්තොටට සව්සිරි ඉතිරෙමින් පිරි
නැව් තො‍ටුපොළ ගුවන් තො‍ටුපොළ ගිමන් හරි
මංමාවත් හැදෙයි පාලම් වෙමින් සරි
සංවර්ධනය වෙයි කවුරුත්  කොහොම හරි


වී මිල අඩුවෙලා ගොවියෝ වහ බොනවා
හාලේ මිල දැකල වැසියෝ දෙස් දෙනවා
සිල්ලර සටන් පාටය සටනට එනවා
මහරජ! කැකිල්ලේත් කැසපොට  අමුනනවා


කියත් බොහෝ දේ ඡන්දෙට පද බැදලා
වියත් හූ නොවෙති අපි හරකට ඇඳලා
තබත් නුඹ ගැනම හිත අහිතක් නොබලා
නමුත් අයවැයෙන් නුඹෙ පතටම බෙදලා


නොදනිම් ඉලක්කම් හරබය නුහුරු බැවින්
හිදිනෙම් මඟ බලාගෙන බත ඉදෙන සැනෙන්
වියදම් පිරිමහා ගන්නට නොහැකි කමින්
බලනෙම් ආශ්චර්ය්‍ය, මෙහි ‍රැගෙන වරෙන්

Sunday, 5 December 2010

මංපෙත් හදාගමු......




සීතළ සඳට මුඳු සේළය පිරුවාය
රෑ තරු දෙනෙත් එය දැක ඉඟිමැරුවාය
ඊතළ දුනු දැරූ මල්සර දුනුවාය
මේ වර නම් ඉතිං වරදක් නොකලාය


පීදුනු පැතුම් බොල් සුළඟට යන්න නොදී
ඈඳුනු හිතට අවුලක් අත්වන්න නොදී
දේදුනු සිහිනයේ ‍රැදිලා නොදී
පෑහුනු නුඹේ, හිත ළඟ උණුසුමේහි ‍රැදී



සාර සියක් මල් සුවදට මුසු වූව
නෑර එමල් සුවඳට ගත සිත පෑව
කාරණාව දැන හැදිනූයෙන් මාව
පූරමින් පෙරුම් සෙනෙහසකට යාව


තල් පත් පුරාවට පෙම් ගී නොලියාම
කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම
බැල්මෙත් සිනාවෙත් අඩුවක් නොතියාම
මංපෙත් හදාගමු සතුටින් හැමදාම....

Saturday, 20 November 2010

දේදුනු පාට අතහරිමින්


සීතළ දුරුත්තට කලියෙන්
ඉල් මහ සීතළේ ගැහෙමින්
ගිලිහුන වසන්තය සමඟින්
උණුසුම සොයයි සිත තරහින්

පීඳුනු සිහිනයට රහසින්
ඈඳුනු හිතට කිති කවමින්
දේදුනු පාට අතරිමින්
කලු සුදු ලොවක කල් බලමින්

ගීතයේ තනුව හැර, ශ්‍රැතියෙන්
දීගයේ බැඳුනු කළ කලියෙන්
ඊතළ නොවිද්ද සඳ, මලවින්
සීතළ දැනේද නෙතු කදුළෙන්

රූසිරි බලා එබී හො‍රැහින්
ආසිරි ගීත තළුමරමින්
පැහැසර මැකී, මලානික මෙන්
දොරහැර දමා.... මෙමා තනියෙන්.....


Wednesday, 17 November 2010

පදවි සම්ප්‍රාප්ති කවි




කවුරු නොහොඳ දැක්කත්  සපුමල් කුමරූ
පහල නොවිනි නම් දැක ගත හැක බහුරූ
විහිළු කාරයින් අඩු නැති කළ මිතුරූ
වීර විකුම් පෙළහර කියනුද කවුරූ


ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී
කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී
ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී
දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වො‍රැඳී


ගස්සා බිම දමා මරුවැල් ඇද තිබුනූ
රස්සා කරපු රට, ඒ පින අත් විඳිනූ
නිස්කාරනේටම හැමදාමත් බැඳුනූ
පිස්සන් ටික කෙරෙත් දක්වනු මෙත් කුළුනු!



ජාතිය දේශයක් තුල මඟ නොම හැදින
භීතිය ගෙනා යුගවල සිට දැන හැඳින
නීතිය රකින මංපෙත් වල හිල් හැදින
නෑසිය පිරිවරට බෙදුවානම්, නොමින



විල් බොර දියේ දිය බුං ගසමින් නටන
පිල් විදහා නටත්, අමු හෙළුවම පෙනින
කල් යල් බලන බක තපසුන් හට ලොබින
පල් හොරුනුත් හැඳින ,තිත තබමුද ඉතින


ආ මඟ සුවපහසු නැත, යන මඟ දරුණූ
පෑ පෙළහර වගේ තව එක්කර කරුණූ
පා මෙත් ගුණ නිබඳ, සතුරාටත් කිපුනූ
මේ උත්සව දිනේ උන් මුදවා හරිණූ


නිරිඳුන් වුනසේම,පුහුදුන් මිනිසුන්නේ
නිතැතින් බොහෝ ගුණ දම් වුව ගිලිහෙන්නේ
එතෙකින් කරපු හොදනම් නැත අඩුවෙන්නේ
මැතිඳුන් ඔබටමයි"රජකම" ගැලපෙන්නේ.





Tuesday, 16 November 2010

දිග සුසුමකට.....




දිග සුසුමකට බර දී නිදි නැති යාමේ
වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ
නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ
මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ


රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ
මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ
ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ
විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ


ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ
විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ
කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ
වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ


නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම
පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම
ආයෙත් කථා නොකරණ බව කීවාම
නෑ තෙත් වුනේ නෙත,හිත අඬනව තාම....

Saturday, 13 November 2010

ගංවතුර




පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු
යන එන මං නොදැන නුවරම යට කෙරුණු
කොහෙ ‍රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ
මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු


ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා
‍රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා
උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා
මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා


බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන
පර්චස් දහය පහලොවකට බෙදාගෙන
අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන
හිටියත් වතුර විත් එකමුතු විලාසෙන


කුළ ගොත් පාට හෝ බෙදුමක වපසරිය
වැදහොත් ඒ බලය සෙල්ලමකට සරිය
සවිමත් කරන්නට රට නංවන බලය
කවුරුත් ගංවතුර මෙන් එක්විය යුතුය


යුග යුග ගනන්  පීඩා විඳිමින ගෙවුන
ඒ කල දසාවට දොර අගුලක් තබන
නැති දේ ගැනම දොඩමින්  කල් යල් හරින
මිතුරනි පෙරට යමු ගංවතුරක් ලෙසින.


ඉල් මහේ කඳුළු

මඟ වරදවාගෙන
හැත්තෑ එකේදී හා
අසූ අට, අසූ නමයදී
සුසුම් වැල් එක්වීය සුළඟට
තබා මහා හිස්තැනක්....
.......................................
එකවරක් නොව
දෙවරක්ම.. 
ඇයි වැරදුනේ මඟ.....


ඉන් අනතුරුව
යෂ්ටිය අතට ගත්
පෙරගමන් කරුවෝද 
මඟ වරද්දාගති.............
අනූ හතරේ හා
දෙදහස් පහේදී
යන එන මං නොදැන
හතර බීරී කථා කියමින
එකවරක් නොව
දෙවරක්ම.. 


කියාදෙන්නට මඟ 
මොවුනට
කිසිවෙක් නැත අහලක
කියා දුන්නද... 
කෙසේ නම් අසනුද?
අඳ බාල වූ කල
නඩේ මුල....


මස් රාත්තලම ඉල්ලන
"ෂ්යිලොක්" ලා මෙන
පුරුද්දට වාගේ... 
වටරවුමට ම කො‍ටුවෙන
ආරේ ගුණම සුරකින
සිල්ලර වාසියට
සරසවි පවා අවුලන


මේ සියළු දුක් උහුලන....
ස්වභව ධර්මය..
ඉල්මහ නෙතින් හෙළු 
කඳුළුද?......
මේ දෙගොඩතලා යන්නේ..

Thursday, 11 November 2010

නිහඬ බව




දු‍ටු සිහිනෙහි මුලා
මම මෙහි පැටලිලා
නුඹ ඉන් ගලවනා
මඟක් සොයමි මනා


නෙතින් සිනහ වෙලා
සිතින් තරහ වුනා
නෝක්කාඩු සිතින්
බලන්නේද ඉතින්


සොඳුරු බවට නුඹේ
කවුරුත් ලොබ බඳී
බැඳි බැමි සිහි නොවී
සිතුවිළි කළ හදී


පිපී දිලෙන නමුත්
මලේ සොඳුරු බවක්
ගෙවත්තෙදී නොවේ
වැටෙන් එහා තරම්


පුවත් නොදැන යථා
නුඹත් දුකිනි මෙදා
ඇතුන්ලවත් ඇදා
දෙනු නුවනක්! සදා


නිහඬ බවත් මහා
හඬක්ය කලබනා
හිඩැස හදෙහි තැනූ
නොදත්ය කාරණා  .......



මහත්තුනි එදත් මෙලෙසයි රඟපෑම



අළුත් ජනකවි 6 මෙතනින් කියවන්න
ඇවිත් බලේ තිබු කාලේ කලසේම
අඩුත් නැතිව මුන් බේරාගයි ජාම
අමුත්තක් වුනා රට බේරා දීම
මහත්තුනි එදත් මෙලෙසයි රඟපෑම.


හැත්තෑ හතේදී මුළු රටෙහිම බලය
ගත්තෙන් ගසාගෙන  මතවාදෙට ඇණය
පිස්සන්ගෙන් නොවිනි අඩු නිරතුරූ බණය
බස්සෝ වගේමයි එදවස ඔය නඩය


පෙන්නා හයෙන් පහ බලයක උඩගුකම
ගෙන්නාගෙන මිතුරු මැරයින් අතැර හැම
සන්නාහ සන්නද්ව ජන බලයේ ඉම
සුන්නද්දූලි කළයුරු අමතකව නොම


රුපියල් දහය ඉල්ලාගෙන වැඩ වැරුණු
ගොල්ලන් අසූවෙදි එළියට  ඇද දැමුනු
සෙල්ලමකට ඇරන් සිත් පිත් නැති කුලුනු
ඉල්ලයි දහ දහක් රෙදි ඇදලද බලනූ


කළගෙඩි ලාම්පුව ගෙන ජනමතය ඉරා
ලොක්කා මැතිවරණ  සිතියම ඉවත් කොරා
මක්කා කීව මුත් හොදහිත දෙකට ඉරා
දැක්කද පුස්තකාලය අළු ගොඩක් කොරා


ඇණ ගසමින් සිසුන් සරසවි වල හිටපු
මහ මඟ ගිනිතියා, ගඟ දිය පා කරපු
යුගයක මතකයන් මැතක අත් විදපු
අමතක වෙලාවද  අන්තරයක්  මරපු


අඟ මුල හොයා ගනු බැරිවීමේන් දුරුව
ජේවීපියට,  යූඑන්පියමයි කරුව
කඩමින් අ‍ටුව හදවන්නටනම් පු‍ටුව
කැස කවනා අයව ඇත  හැදිනිය යුතුව


අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 4 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 3 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 2 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 1 මෙතනින් කියවන්න


Tuesday, 9 November 2010

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී




පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
සුළු වරදකට හිත පොඩ්ඩක් රිදේවී
මහවැස්සෙදී  හිත රිඳිලා අඬාවී

ආගිය කථා සිහිවී දුක හිතේවී
ඒ ගැන යළි යළිත් සිහියට නැගේවී
පිපි මල් නම් දිලී අතුඅග ‍රැඳේවී
නොපිපෙන මලුත් ඒ අතරෙම තියේවී

රළ හඬ නගා ගෙන වෙරළේ හැපේවී
ඉම නොදකිනා රළ ඉකිබිඳ හඬාවී
සුවදේ සිනාවක සැනසිළි ‍රැඳේවී
දුක නම් ඉතින් නෙත කඳුලක් සදාවී

නුඹටද දුකකි ,ඒ දුක මට දැනේවී
කවුරුන් හෝ දිනෙක ඔය හිත හදාවී
නොකෙරෙන දීගයේ හෙවනැළි ඇදේ වී
පිටමං වෙන කරුණු  එකිනෙක සැදේවී

නිල්වලා ගඟත් හැඩවී ගලාවී
මංමුලා නොවී අරමුන සොයාවී
ලංවෙලා ඉන්න හිතකුත් ලැබේවී
කල්බලා පුවත් මාහට කියාවී

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
මල් සුපිපෙනා පොද වැස්සට මුවාවී
කොහෙ දිලුනත් සුවඳ මසිතට දැනේවී

Wednesday, 3 November 2010

අරගලය




දිසාපාමොක් ලාට බැට දෙමු
ඇමතිවරුනට හූ කියා
තක්ෂලා දොරවල්  බිඳන්  යමු
හරක් ‍රැළ සේ කැළඹිලා
උගත් ගුණදම් පාසැලේදී
සරසවියේ දොර ළඟ තියා
හිනස්සමු මුළුරටම, හඬවමු,
දෙමව්පියවරු ඇනතියා


ඉගෙන ගන්නැති, ඉගෙනගන්නට
කැමැත්තක් නැති දෙ‍ටු දයා
වලක්වා සිසු කැළක හෙට දින
පෝස්ටරයක් අත තියා
ගනන් යුග යුග කියූ දෙබසම
සටන් පාඨයකට ගයා
බලන් පෙරහැර වසාගෙන දොර
අතගාමු අං හොය හොයා.....

Monday, 1 November 2010

කැලෑ නීතියට නම් අප නොයා යුත



තලා පෙලා සරසවි කැකුළු විකසිත
පුරා වසර හතළිහ සපිරෙමින් එත
නරා වල ඉහින්නට ඉල් මහේ මිත
කැලෑ නීතියට නම් අප නොයා යුත


යුග යුග ගනන් නෙක නෙක උවදුරු විඳින
දැක දැක එවන් යුගයන් වෙත යළි ඇදෙන
මඟ එළි කරන්නට බල ලෝභෙහි බැඳුන
ඉඟියක් වත් නොදී රට ‍රැකගමු කළණ


ඌරන් කැකුණ තලමින් ඌරන් විලස
හාරන් මඩම උන් ගොඩ ගන්නේ කෙලෙස
තේරෙන්නැති නමුත් ඔ‍ටු ‍රැළකට පවස
බේරන්නේ කෙලෙස දරුවන් එක විලස


අතකින් අන්තරේ,අතකින් සරසවිය
විභාගේ ළඟය ඒකට කඩිමුඩිය
එහෙයියන් නොවීමෙන් ගැලවෙනු බැරිය
මරණ භය තියාගෙන පැණි කනු වැනිය


කවුරුන් රට කළත් හැම විටම දෙස් දෙන
පිස්සන් අතලොසක් ඇති රටක පිස්සෙන
දරුවන් යළිත් ඒ මරු කටට දක්කන
කෙරුමන් හැදින වලකමු ගන දැක්මෙන.

Sunday, 31 October 2010

මමත් බලා ඉන්නෙමි දකිනට හනික




ඇවිත් ගැයූවත් කවි ගී පද සින්දු
තවත් මොන කතාවද කඳුළකි ‍රැන්දූ
ගියත් අතැර නෑසෙන දුරකට කැන්දූ
ගයත් මෙ කවි සීපද නුඹටම ලන්දූ


දැනත් නොවේ නම් නොදනිමි යැයි කියනු
කොහෙත් බැරි දෙයකි දැනවුන් කළ කරුණු
එහෙත් බොහෝ දේ දැන දැනමත් කුළුනු
ගුණෙත්, නුඹෙ පිළිවෙතත්, සොඳුරුය පිරුණු


ඇවිත් යනු නොහේ නෑවිත් යන්න බැරී
තවත් ඒ සිහිනයේ රඳවන්න බැරී
නුඹත් තවත් හිතකට පෑහෙන්න හරී
නැවැත්විය යුතුය වෙදකම නොකර බැරී


නෙතත් කඳුළු උසුලා හදකට සුසුම
ගෙනත් දී කළේ මම වරදකි ලොකුම
තවත් පමා නැතිකල, නොපිරෙන පැතුම
පවත්වා ඇයිද?කිමිදෙනුයේ එහිම


සියත් කුල මියුරු ගීයක රස වියැක
තවත් බොහෝ ගී රස විඳිමින් දොහක
නුඹත්  දිවි කඳුළු පිසදාලන කලෙක
මමත් බලා ඉන්නෙමි දකිනට හනික


Saturday, 30 October 2010

අළුයම හීනයේ ඇහැ පියවෙන්නේය....



රුව ඇඳි සිහිනයේ පැටලී අකුරු සරින්
කිම මංමුලා වූවේ අපි ළදරු වෙසින්
දිව ගිය කාලයම නපුරට එකතු වෙමින්
මම මහ ලොකු වරදක් කර ඇතිය නොමින්


වතු සුදු මලෙක මුඳු බව හදවතෙහි තියා
මතුයම් දිනෙක විඳිනට හැකි වෙතිය කියා
සිතුවෙමි, සියළු බැඳි බැමි අමතකව ගියා
රතුවුන ඇහැක කඳුළක් උරුමයට තියා--


සිතිවිල්ළක එබඳු බැඳුමට වුන කරුණූ
ළතවිල්ලක මුලකි දින දින වේ දරුණූ
මැසිවිල්ලක ලියා දිය කර දා හරිණූ
හස‍රැල්ළක ‍‍රැ‍ඳෙන ලකුණක් නැහ පෙනෙනූ


ගැයුවත් විහඟ හද බැඳ තබන ලෙසින්
ලියුවත් බොහෝ දෑ  කිසිදා නොවන හෙයින්
පදරුත් විමසමින් කළ කී දෙයහි හෙමින්
සුනරුත් වීය ගී කෝකිල, කපු‍ටු සරින්


සැමරුම හෑමදාමත් පවතින්නේය
විසදුම සමාවක් නම් නොලැබෙන්නේය
අළුයම  හීනයේ ඇහැ පියවෙන්නේය
විමසුම කුරුල්ලන්ටත් වරදින්නේය....

Thursday, 28 October 2010

නෙත් මායිමේදී.....



හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දු‍ටුවාද?
කඳුළුත් සීතළේම සඟවා


කීරලෙක් හිස් අහස කම්පා 
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙ‍රැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා


ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ  හෙව්වා
උදාගිරගින් නැගී අවරින් 
ගිලී  නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..

Monday, 25 October 2010

පමාවූ විවාහ සංවත්සර කවිය



පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

Saturday, 23 October 2010

මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන



අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
කොල්ලට උගන්වන මඟ වැලකුවයි යකා
මුල්ලට වනු නොදී මතු පරපුරක් මකා
ගොල්ලට එකතු නොමවව් ! ඉදිරි වැඩ තකා


සතර දැන ඉගෙන මං පෙත් හදාගෙන
එතෙර වන තැනෙදි අං පටලවා ගෙන
නිතර කී කතා යළි යළි දෙසාලන
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන


ඇවිත් පැන කඩුලු අභියෝග ජයගෙන 
පුවත් දැන.. නොදත් ලෙස වළං බිඳගෙන
දොහොත් දී පුදන ගුරු පියන් වටලන
තවත් මෙහෙයුමක් දෝ රටක් අවුලන


හඬ නම් තරුණ හඬ සරසවි ජයගත්තෝ
වැඩකට නොමැති අරමුණු වල වී ගැත‍තෝ
ඉඩ නොතබා විහින් මඟ අහුරා ගත්තෝ
අඩ පණ කරයි සරසවියම වී ඉත්තෝ


කඩ ඉම උසස් පෙළ ලකුණක දෙකක නොමින්
හැඬ වෙන දූ පුතුන් පිටතයි ඇතුලේ නොවින්
ඉඩ ලඳ පිනින් ඇතුලට ආ අසුරු සැනින්
මැඬ වෙන දූ පුතුන් එන මඟ අගුලු නොලන්


‍රැසක් පුතුන් දූවරුනගේ නෙත්  හදන
දොරක් ඇරෙන..හෙට ලොව ජය ගනු ලබන
දිනක් අත ලඟම බව දෙස් දෙන බැවින
එකක් නොව ‍රැසක සරසවි දොර ඇරෙන


යන්තරේ හොදයි නම් වැඩ නිරවුල්ය
මන්තරේ තමයි හැමදාමත් හෙනය
පිංකරේ නැතිදු ලබනට විදු එළිය
අන්තරේ ගෙනෙයි හැමොටම රතු එළිය.

Tuesday, 12 October 2010

අළුත් ජනකවි. 6 ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න


අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න


ඉර වරවර ඉර වරවර වලල්ලා
හඳ වරවර හඳ වරවර වලල්ලා
පෑදී දියට බොර දිය එක් නොවෙල්ලා
ජේවීපෙයට මොළයක් ගෙන දියල්ලා...


සාර සියක් සතුරන්  ඔද බිඳ හෙලපු
වීර පුරුෂයෙක් මුලු ලනුවම ගිලපු
නෑර දුක, එගොඩ වෙන මඟකට පැනපු
සූරයා ඇතුලේ, හරකුන් හා ලැගපු


වීර විකුම් පෑවත් දුර නොදු‍ටු බැවින්
මාර සෙනඟකට ‍රැවටී කරපු පවින්
බේර ගන්න තවමත් ඉඩ තිබෙන හෙයින්
පාර හොයව්! නවතව්! මඟ, නැහෙන විහින්


කෑ කෝ ගසන එක, පිකටිං කරණ එක
ගිලිහෙන කොඩි ඇරන් පෙරහැර කරණ එක
යුග යුග ගනන් සිට නිරතුරු පුරුදු දැක
රණ විරුවෙකු ඇතුලේ හිරවෙන එකයි දුක


යුද්දෙදි නිකමෙකුට පාවාදී කිපුනු
සද්දය සමඟ ඔච්චම් කරමින් ‍රැඳුනු
ඔක්කොම වීරයොයි, එක විරුවෙකි මැඬෙනු
සජ්ජායනාවක පැටලී ඇති ලකුණු


බස්සෙක් ලකුණු ගයි, ගෙයි ක ගිණි ගොන්න
පිස්සෙක් අඬගසයි හිරගේ බිඳලන්න
නිස්සෙක් නොමැති කල හරි මඟ පෙන්වන්න
එස් එෆ්  හැමෝගේම කට ගැස්මකි ඔන්න


තිහකටත් එහා උම්බෑ ‍රැළ දිලිනු
පහකටත් මෙහා නුඹේ දිනුමෙහි ලකුණු
වියගහක් ඇරන් හරි දෙන්නව බඳිනු
පිය බසක් ලෙසින්, හා!! ජක්...! මක්...! කියනු


රුදු ගුණ අයහපත්, යුතුකම් දැනගන්න
මුදු ගති නිතර හොදමයි හිත් ඇරගන්න
සුදු කොඩි කතාවට නව අරුතක් දෙන්න
ඉදිකඩ වැලිකඩෙත් ලෙහෙසියි ඇරගන්න....