Saturday 29 May 2010

සමනළ සිහිනයක


සමනළ සිහිනයක නුඹ ආවා මතකයි
මඳනල පවා ගෙන ආවේ ඒ සුවදයි
විදහල ප්‍රේමයේ  අනුහස නම් පුදුමයි
සමනළ සිහිනයේ තාමත් නුඹ කොතනයි

නෙතු සපිරුන  තරම් හිත නොපිරුනාද?
පැතුමන් සපිරි,හුදු හැඟුමන් වුනාද?
උතුරා  ගැලූ සෙනෙහස වියළුනාද?
මතු සසරේ කතාවට මක් වුනාද?

නොතරම් නොවූවත් කල්බැලූ  පෙමට අපේ
සැමරුම් අදත් මඟ තොට දැක පොළවේ හැපේ
නුඹ නම් එමඟ හැරදා ගොස් නො එන කපේ
කොතරම් සුන්දරද ඒ මල් තවම පිපේ

නොදනිමි කුමක් දෝ මා දොස තවම නොකී
නොකියමි දොසක් නුඹ ගත් මඟ හරිය සකී
වැළපෙමි කියා කීවත්  නුඹ මා නොදකී
සිටිනෙමි මමත් නොමදී හදවතට ඉකී

මලකට දැනෙන දුක  බඹරා නොම දන්න
පසෙකට ලා තවත් මල කට පිය මැන්න
බඹරුට මල්ය , මල කට  බඹරෙකු වන්න
හිතකට  දුකක්  නොම දෙන බඹරෙකු එන්න

ගතත් සිතත් වෙහෙසයි පෙම් බස් දොඩලා
ඇසුත් අතුත් අපුලයි බඹරුන් ‍රැකලා
තවත් ඇවිත් යන හිතකින් නොම ‍රැඳිලා
මමත් නුඹත් හඳුනයි දෝ සිත් සැදිලා

සමනළ සිහිනයම හිත අද්දර තබමි
සමකුළ බඹරකුට මුලු හදවත පුදමි
බැමිතල හකුලුවා  මඟ බලමින් හිදිමි
හිමිකල මට උරුම  ඔහු වෙනුවෙන් තබමි



Thursday 27 May 2010

පින් මඳ බිසව්


සඳක් මෙන් නිබඳ සොමි ගුණ ගති ආර
මලක් සදිසි නුඹ වත සුවදයි තාම
මදක් හෝ නිනව්වකි සැනසෙන හීන
මෙතෙක් කල් කොහිද එදවස මිණිපාන

ඇස් රතුවෙලා නිදි නැතිවද නොනිදාද?
ගස් යට හෙවනේ ඇයි කවුරුත් එනවාද?
පස්යම මෙලෙස තනි මඟ තනි නැතිවාද?
තිස්සෙම මහ මඟදි නුඹ හමුවෙනවාද?

නෙත්සර හිනාවක හෝ කෝල බැල්මක
විස්තර බොහෝ විය නුඹ දු‍ටු දිනේ සිට
ඉස්සර වගේ නොවේ ඒ පිරි සිනා කට
විස්සෝපයෙන් ඇයි? හඳුනන නිසාවද?

ලකල පතල ගම් පියසට වුන් දේවී
කිකල නුඹ මෙහෙට කුමකටදෝ ආවේ
දුබල නැකතකද? නුහුරට පය තීවේ
කොමළ බැල්ම ඇයිදෝ නුඹ සැඟවූවේ.




Wednesday 26 May 2010

තෙමගුල්



තෙමගුල්

මෙතේ  බුදුන් උපදින තුරු නැතේ නිනව් සිතේ
සිතේ  උපන් අකුසල් සිත් නිවන මඟක් නැතේ
නැතේ ය මඟ පෙන්නන්නට කෙනෙකු හෙටක් වෙතේ
වෙතේ එකම මඟ,බුදු හිමි මඟමයි ජීවිතේ

නව අරහාදි බුදු ගුණ  සිහි කරමින් බව
භව  දුක කෙටි කරන මඟක් වෙද දහමක තව
තව මත්  අඟ්ඥාන අඳුරු  දුරු කරමින් පව
පව නක්  මෙන් දසත ඇදේ වෙසක් අසිරි සුව



Sunday 23 May 2010

මලේ වරුණ


මලේ වරුණ

පිපුන මල් යායේ
සුපිපුනු මලකි වූයේ
හිතට පි‍ටු පෑයේ
නොමැති හින්දයි නැවත ආයේ

බඹර ගුමු ගුමුවේ
ඉඟි බිඟි අඩු නොවූවේ
නමුදු සිත් පෑවේ
ඇවිත් ගිය අය නොමැත ආවේ

පෙලක් මල් සුවඳය
තවත් නම් නිති හැඩමය
ගුණ සුවඳ දෙකමය
‍රැඳුනු මල්  හැම වෙලේ නොපිපිය

දකිමින් නිරතුරුව
මල්වලම අඩු පාඩුව
බඹරුන් ලහි ලහිව
ඇයිද? ආයෙත් එන්න හේතුව

‍රැදුන මල් යායේ
මිමුනුව බමර ගීයේ
සවනත ‍රැදීයේ 
නුඹට පමනයි මිහිරි වූයේ

මසිත වීනා වී
නුඹෙ  ගීය හා යාවී
නොදත් ස්වර  බිහිවී                            
මටත් නොදැනිම තනුව මතුවී

ගැයූ මුත් රඟදී
මල් ලඟ සැඳී පැහැදී
නුඹ මෙන් නොවැරදි
විඳී, සිත දා නොයා සමුදී

හැඟුනි ආ කරුණේ
පෙමිනි හදවත  දිලුණේ
තුටිනි වත පිරුණේ
දනී මම ඔය බඹර වරුණේ

කෝප නොම ගන්නයි
නුඹේ හිත මට දෙන්නයි
නුඹට කැප වෙන්නයි
කනට කොඳුරා ගී ගයන්නයි

සිතේ කැළබිල්ලයි
මල් යාය හැර යන්නයි
කොහෙ හෝ ‍රැදෙන්නයි
නුඹේ ගීයට තනුව වෙන්නයි.



Saturday 22 May 2010

ප්‍රේමය නම් ඉතින්....




ප්‍රේමය නම් ඉතින්....


සිත් මල් පිබිඳ වූ යව්වනයේ  සිහින
ඇත්තක් නොවේමය, මුත් තු‍ටු නොව දොඩන
සත් කුළු පව් සසළ වන තරමට විඳින
සිත් වේදනාවකි සමහර විට ගමන


රකිමින් කුළ සිරිත් බැඳි බැමි වල හිරවී
සුසුමින් කඳුලකින් කල් ගෙවමින් බරවී
රුපුසෙන් ලෙස නැතත්, එක වහලක කො‍ටුවී
සුපසන් ප්‍රේමයම ඉකිබිඳිනුය තනිවී


සිපගෙන  වැලඳ එක පතටම බෙදාගෙන
කොපමන දුක වුනත් මුලදී එකාමෙන
අපමන කම්කටොලු සැපයැයි සිතාගෙන
සැනසුන හදට අද සැපතත්  එපාවෙන


සුහදේ  නිරතුරුව  සැතපුන සුව සෑදූ
සුවදේ කල්පයක් වුව සිනහව මෝදූ
නො‍රැදේ අද නැතිය කිසි ලකයක් පැහැදූ
ගියදේ ගියාවේ  වෙද සිතකට සෝඳූ


ඇල්මෙන් විමසමින් ආගිය ගමන් මඟ
බැල්මෙන් පවා බොහෝ දැ විය නුවන් යුඟ
හැල්මෙන් ගැලූ ගඟ වියළී අතර මඟ
කැල්මන් පවා කල්යෑමෙන් නොවිනි වග


බැඳී ඒ සෙනෙහසින් මුසපත්වී ‍රැදෙන
විඳිමින් අසිරි  තවමත් පැරණිය නොවන
හිදිමින් එක වෙහෙර කිල්ලෝටයේ ‍රැදුන
නොදමන් හුනු ඉවත කොයි හිතකත් බැඳුන


රාගය නම් කෙලෙස් සිතුවිළි මතම ‍රැදී
ප්‍රේමය අරුත් දක්වනු  කෙලෙසකද සැදී
යාමය රුදුරු වෙයි සිතුවිළි මවති හදී
ප්‍රේමය නම් ඉතින් ප්‍රේමය මයි සුසැඳි

Wednesday 19 May 2010


         පමා නොවී යමු අකුරට


දමා යා නොහැක අත්වැල බැඳුනු මිතූ
නිමා වක් දකිමු සුභ සිහිනයක පැතූ
අමා වක අඳුර බිඳ සිප් සතර ගෙතූ
පමා නොවී යමු අකුරට මෙයින් මතූ


අත්ත නොබිඳිමින් නාමල නෙලාගෙන
ඇත්ත දැන දැනත් රජවරු හදා දෙන
මුත්තා ගේ කාලේ සිට ‍රැව‍ටුනා මෙන
සත්ත  කින් අපේ මඟ කවුරුදෝ ගෙන


අල්ලට සිඟා නොව ටී වී එකෙන් බලන්
මල්ලට සමෘඳිය පුරවා ගෙදර යමන්
නිල්ලට පූදිනා ගොයමට වතුර බැදන්
දෙන්නට සමත්තෝ  ඇත්නම් පෙරට වරෙන්


කැළේ කොලේ පිපුනත් මල් සුවඳ මෙන
පැළේ පිලේ අපිටත් මඟ උරුම වෙන
කලේ හැම සතර අත්වැල බදින මෙන
වලේ නොවැටෙනා පාඩම කියනු මැන!

Tuesday 18 May 2010

නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති







නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති....


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනු
කෝප වූ රජුන් ටත් අවනත  නොවුනූ
මාව වත්  මටත් තෙරුම් ගත නොහෙනු
මාගේ සිත සොරා ගත්තේ  ඇයි කියනු!


දේශ දේශයෙන් විත් ගොඩ බසිමින්න
රහස රහස කන් මතුලා  කොඳුරන්න
දෑස දෑස සිත්සේ නිති දැක ගන්න
වෙහෙස  වෙහෙස විඳි අපේ සිත් මයි දන්න


මංමුලා නොවුන සිහිනයේ කිමිදෙමින
ලංවෙලා නුඹට පෙම් කවි පබඳමින
හැංගිලා බැඳුන සිත් මල් පුබුඳු වන
නිල්වලා ගඟට සඳ පෑවුවා මෙන


මලේ මලේ මල් වරුනේ නිමක් නැති
ඇලේ දොලේ පිපිලත් දු‍ටු කෙනක් නැති
විලේ විල්තෙරට කොක්කුන් දබර වෙති
නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති


සිතූ තැනක නැවතුන හදවත පෙමිනී
පැතූ පැතුම් මල් පූදයි හෙට ඉතිනී
ගෙතූ සිත්තමෙහි පැහයට හිත බෑඳුනී
පැතූ නුඹටමය, මේ මල් මිට නිතිනී.





Friday 14 May 2010

දෙන්නා දෙපොලේ සිට කියු කවි




දෙන්නා දෙපොලේ සිට කියු කවි

ලං වෙලා නුඹට, සසරේ ඇවිදින්න
පිං කලා මදිව අත්වැල බි‍ඳෙමින්න
රං රුවේ ,එකම සිහිනය දැක ගන්න
මං මෙහේ,... නුඹත් එතනමදෝ ඉන්න
 


වංගියේ නුඹට , මගෙ හදවත දුන්න
මංගියේ මසිත නුඹ ළඟ තබමින්න
සංදියේ ඉදන් කාලෙක සිට දන්න
නංගියේ කියූ කෙනෙකුත් මෙහි ඉන්න
 


රං ගිරේ ඉදන් මම මකනා පාළු
ගිං ග‍ඟෙන් එහාටත් ඇසිනිද යාළු
දැං ඉතින් නුඹත් ගංතෙරටම ඒලු
මං තොටක් නැතිව උඩුගං පාවේලු
 


කං කරච්චලේ නෑයින් සෝලි තියන්
මං පලච්ච වෙයි සිතමින් කියන කියුන්
මං හැදිච්ච විදිහත් ගැන වපර ඇසින්
දැං පැහිච්ච කම් යැයි, හැම සතුරු වෙසින්


වං දනාවක්ය  සසරම ඇවිද යන
මං බලා වුන්නේ නුඹෙ අත ලැබෙන දින
ගං තුලානටම සේසත් බඳින මෙන
වං හුනා රාහු හඳ හංගවා ගෙන
 


දැං ඉතින් කදුළ, දුක සිත තුල සඟවා
මං හිතින් හිතපු දේටම කැපවෙනවා
රං හුයෙන් මෙදා නොබැ‍ඳෙන  හිත හඬවා
මං හිතින්  සදා හිත ළඟ වැළපෙනවා


මං වගේම නුඹ අසරණ වූ කලට
රං රසේ උනත් අපුලයි හුරු කටට
මං  වගේ නුඹත්, නුඹේ තනිවුන හිතට
සං තොසක් වෙතොත් මම කැප වෙමි එයට

Thursday 13 May 2010





කොහේ සැඟවිනිද ?.... 

පුන් සඳ සේම මෝරා අහසේ දිලුනු
රන් කෙදි සේම පිපි සූරිය මල නමිනු
පින් බර සුමුඳු වත  මා වෙනුවෙන් පිපුනු
සන්තක වුනාවද? තව හිතකට කුළුනු

සූරිය මල කොහේ පිපුනත් හිරු පල්ලා
සූරිය මඟම  ගති, නිරතුරු නෙත් අල්ලා
වීරිය පාරමී නුඹ වෙනුවෙන් ඉල්ලා
කාරිය කිම මෙසේ, මම මෙහෙ තනි කරලා

පිපුන පිපුන  මල් අතු අඟ පරවීය
බමන බිගුන ගෙන් අඩුවක් නොම වීය
කුමන කවට කම්,වුව දම් එකසේය
ගිමන නිවන මඟ, කවදත් පි‍ටුපෑය

හිතින් වැළඳ ගෙන  හිත තුල රුවාගෙන
ගතින් සිතින් එක්වන දින හදාගෙන
අතින් අත සපත,  සුළඟේ ගසාගෙන
ඉතින් නුඹ කොහිද මම මෙහෙ බලාගෙන.....

පියවිලි අතුරමින් පෙරමඟ කොඩි ඇන්ද
මැසිවිලි කියන්නද  හිතකට පෙම් බැන්ද
සිතිවිලි නුඹ දනී, ඒ හිත දුක් වින්ද
පැටලිලි නම් තමයි,අසලක නැහැ නින්ද

එපා කියද්දිත් නෑසිය මිතු රෑන
නුඹේ සිහිනයෙම කෙලවර අල්ලාන
මහා දුරක් නොව දින ගනනකි නේන
කොහේ සැඟවිනිද? කවුරුද මට කියන...


Sunday 9 May 2010

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී..........
















සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී...

කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක ‍රැඳි සිසිලින් පිරුණ
මුඳු බව ‍රැගෙන සමනළ ත‍ටුවල ‍රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් ‍රැගෙන...

අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන  බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...

මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන   උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී......

Thursday 6 May 2010

පහන නුඹය,ගත සිත එළි කරලාන



















පහන නුඹය,ගත සිත එළි කරලාන


සාර සියක් ගව් දුර ගිය කුමරාණ
වීර පාරමී පුරමින් දු‍ටු හීන
සාර සියක් කල් මඟ බලමින් පේන
පාර වැරදුනාදෝ හේතුව නේන....


මාර සෙනඟ මෙන් නෑපුර වටලාන
කාරණා කියයි නුඹ ගැන අනුමාන
නෑර නුඹේ අත ‍රැදෙමින් සිත ගාව 
මාර සෙනඟ ලඟ අසරණවී මාව,


පාන සිනා සම කුල ගොත් නෑ රෑන
මාන බල බලා මා සිත බිඳුවාන
ගේන යෝජනා වුව මන බන්දාන
පහන නුඹය,ගත සිත එළි කරලාන..


මාර සෙනඟ ලඟ තනිවී යුද වදිමි
සාර කල්ප කල් වුව එන මඟ බලමි.
පාරමී පෙරූ සිත තනියට තබමී
වීර කුමරුණී දැන් තනි නැත ඉතිනී.

Wednesday 5 May 2010

ක‍ටුනායක‍දී....


















ක‍ටුනායක‍දී.........

"නිල් ...කට් රොල් මලෙක ඇවුනු
වැට් කොල් මල් සෙයි"
සැන්ඳැඟ සිහිවෙන වැනුමක්
හිතට නොම දැනෙයි
හීන් ඇඳිරියට පි‍ටුපා
විසිර යන ළමයි
පහන් මසිත කවි සිතුවිලි
හකුලුවා දමයි.

හීන් සීරුවෙනි මග මරු වැල්ය
සිනාසෙන්නේ
එයින් මිදෙන මග දැන ගනු
මං මුලා නොවන්නේ
රෑන්පිටින් යන ගමනේ
අසිරි නොව බලන්නේ
"ෂයිලොක්ලා" ලේ මස් මයි
හිලව්වට පතන්නේ

ගිනි කාස්ක බැහැ ඉවසනු
සිහිල් සුළං කෝ
මනුරාස්ස නෙත් මානන 
සලෙළ විලංගූ
අම්මාවරු ගම් දොරකඬ
පුදන දෙවින්දු
පිං ඇරගෙන ‍රැක දෙනු මැන
මෙපුර එ ළන්දූ.
.

Monday 3 May 2010

රැදී ඉන්න මා මෙන් එකම සිහිනෙක













රැදී ඉන්න මා මෙන් එකම සිහිනෙක....


දිදී මුඳු සුවඳ මල් පිපුන යායක
විඳී වසන්තය ලද බොහෝ කාලෙක
නොදී සිත් තැවුල් සඳ බසින යාමෙක
‍රැඳී ඉන්න මා මෙන් එකම සිහිනෙක


හිතන්නට පවා හුරු නොවුන සිහිනෙක
ගිලෙන්නට කියා දුනි  අතැර බිය සැක
විඳින්නට ඉඩක් නොතබාම සෝ දුක
ලබන්නට හෙටක්, දැන් ඇතිය නෑ සැක


හැංගී හැමෝගෙම ඇස් වැහුව ප්‍රේමෙක
ලංවී හුදකලා වී නොයන දීගෙක
එක්වී ඉඟිලෙනා ලෙස එකම රෑනක
සිත් සන්තොසින් ඉමු ඇස් පෙනෙන මානෙක.

Sunday 2 May 2010

ලියුම....




















ලියුම....


පොකුරක් ඊමේල් ලැබුනත්  ඇතිවෙන්න
සුවඳක් නෑ  ගෙනාවේ මගෙ හිත දන්න
අකුරක් නෑර ඒ හැඩරුව බලමින්න
ලිපියක් එනතුරා. මඟ බලමින් ඉන්න


ලස්සන මුතු අකුරු එකිනෙක බඳිමින්න
විස්තර ලියා ගෙන හෙමිහිට පියමැන්න
කොච්චර  කල් ගියත්, කල් බලමින් ඉන්න
ඉස්සර තැපල් මාමේ,මෙහි විත් යන්න


විද්යුත් අකුරු බැඳ පනිවිඩ කෙටි කරමින්
සිත්ගත් නුඹට කියු දේ දැනුනිද යහමින්
සිත්පිත් නැති අනේ, නුඹ කියනා දහමින්
වත් පිලිවෙත් වුනත්, සිත තාමත් ගිලනින්


සෙනෙහස ‍රැදෙන්නේ කාලය සමඟින්ය
මඳහස ගෙනෙන්නේ හද බැඳි වදනින්ය
පියබස දකින්නේ මුතුවැල් අකුරින්ය
එමබස ලියන්නේ නුඹ, හද පතුලින්ය


විඩා නිවා පරිඝණකය නිව මින්නේ
දොඩා ළඟින් හිඳ හිස අත ගාමින්නේ
වඩා  හොදින් හිත කියවන සැනසිල්ලේ
විඩා නිවෙන ලියුමක් එවපන් කෙල්ලේ.....
.