Tuesday 1 November 2011

මගේම ආදරනීය..................





ගන දුර හැලෙන රෑ පින්නේ පැලට                         වෙලා
අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා                     වෙලා
පැදුරට වැටෙන කදුලක බර එකතු                          වෙලා
සීතල සුලග ඇයි මේ හැටි නපුරු                            වෙලා


කඳු යායට උඩින් අඬ සද බැස                            ගොසිනී
මූසල රෑහි හඩ නැග එයි තුරු                                  මතිනී
ලග සිටි නුඹත් මා ලග අද නැති                             බැවිනී
එක සද නොවේ සියයක් බැස ගියා                          වැනී


පැල තුල වැතිර සීපද කිව්වා                                    එකට
යායක ඉරිගු මල් පිපුනා නොවැ                               අපට
කොයි? ඒ ගී සින්දු අද නැහැ                              අහලකට
හීනෙන් මිසක නොපෙනේ දැන් නුඹව                       මට


වැව් දිය පතර මල් නෙලලා මා                                අතට
දුන් නුඹ නිසා මල් පිපුනා මා                                   හිතට
මා තනි වූවත් අද පැල තුල කල                                පවට
මේ මල් තවම පූදින්නේ නුඹේ                               නමට


සුලගේ සුසුම් හඬ නුඹටත්                           ඇහෙනවද ?
අහසින් වැටෙන කදුලක් හෙම                පෙනෙනෙවද ?
සීතල ඇවිත් ගේ දොරකඩ                              සිටිනවද ?
මට මෙන් නුඹට එතකොට දුක                    හිතෙනවද ?


අඳුරත් පාළුවත් උහුලනු බැහැ                              මෙමට
නුඹ දැල්වූ පහණ අද නැහැ පැල                             තුලට
දහසක් හැගුම් උපදිනවා                                    කළුවරට
නුඹ නැති හෙටට හිරු පායන්නේ                           කුමට



14.06.1998 වෙනි දින ලියන ලද කවි පංතියක් 

Monday 24 October 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....












නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

Wednesday 5 October 2011

ස්තූතියි

ස්තූතියි ඔබ සැමට





       වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග්  වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දරුවන්ගේත්  ස්තූතිය පිරිනමමු.
                                                                                                                
ස්තූතියි!

පවුලේ සැම දෙන


           
                                                                                                                    

Wednesday 24 August 2011

හීනියට පෑ සිහිනෙකි



හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී

රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී

නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා

දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණා‍ටුව හද දොර හරී

පියාඹන විහඟුන් ‍රැහේ
යළිඳු එයි ‍රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත්  මෙහේ

බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා


Saturday 2 July 2011

ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු....




ගිහින් බොහෝ දුර බැඳ මහ දිග පවුරු
ඇහින් නොදු‍ටුවත් කල් ඒ හා සපිරු
සිතින් ලංවෙලා එක සිහිනෙම වැපුරු
ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු


ඈත් කර විහඟ ගී පද පෙල මියුරු
කාත් කවුරුවත් නැති කතරක ඇහිරු
මාත් නැති වුනා මගේ තනියට වැපිරු
ඒත් ඉතිං නුඹ සඳ තරු මෙනි සොඳුරු


අව්වේ තිබුන ‍රැස් මාලාවට නපුරු
හෙව්වේ සිහිළසකි නුඟ සෙවනක පැතිරු
ගව්වේ දුර යොදුන් දුර වී ඉඩ ඇහිරූ
කිව්වේ නුඹම මිස මං සළකුණු කවුරු


දැකත් සිත් පුරාවට පීදුන අයුරු
සිතත් සත්තකින් ඒ පැතුමම සපිරු
පිපෙත් බොහෝ විල් මල් රුව ගුණ පැතිරු
නුඹත් එවන් මලකිය රුව ගුණ ඉතිරු


පෙරයම් කල් ගෙවී මැදිවිය බිඳ පවුරු
දුරනම් නොදු‍ටුවෙමි නුඹ දකිනා අයුරු
වැරයම් නොකොළ මුත් උඩු ගං ඉම සපිරු
ඉරණම්කාරි නම් නුඹ මිස වෙන කවුරු....



කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු 


Thursday 26 May 2011

මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම



ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ
එයින් බොහෝ කලකට පසුවත් නො එන
කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ
සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන


සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම
ගතින් බොහෝ දුර වුව හිතහිත ළඟම
උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම
මගින් මඟ බලමි,කෝ  කියු අරුම


පියා සලා දැක මල්වතු උයන් දොරින්
නියාමය නොවූවත් නොපනතෙහි ලොබින්
ගියාවද නුඹමනැතිනම් ‍රැගෙන ගොහින්
කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින්


තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට
දැනුනත්අහලකින් ඇස් මායිමෙන් පිට
නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට
සැනසෙත්,නුඹත්  බව නම් දැනේ මට.


කල්බලා හිඳන් මල්සර විදි  දුන්නේ
සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ
වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ
දන්වලා එවනුමෙහි කවදද එන්නේ..... 
කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු 

Tuesday 17 May 2011


නොකියු වෙසක් කවි



බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරු
හුදු අපේඅපේ කම්වල මං අහිරු
පුදුමෙකී ගෙවුණ ල, හිමියනි මහරු
ඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ
 


සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකින
මල් පහන් පුදා, හිත් මලකඩ කඩන
අල්ලමින් එකම නවගුණ වැල සොඳින
කල් බලයි ඉදන් අල්ලාගෙන කෙමණ


හිත් පුරා ක්‍රෝධඊර්ෂ්‍යා වන් පිරුණ
මත් වෙමින් බොහෝ නොපණත් කම් කරණ
අත් බවෙන් මිදෙන මඟ නැණ නෙත අඳින
සිත්තරා ඔබයි බුදු හිමියනිහැදිණ


ශාස්තරේ දැන නොදැනුණ සේ ඉදිති
ඈත්කරේ දහමයි, පන්සල් වැහෙති
පාත්තරේ දන් නොව ,මුදලින් පිරෙති
මෝස්තරේ කට කවුරුත් පින් කරති


ගෙවී සිය දහස් වසරින් කල් පිරුව
නොවී සැනසුමක් වල්මත් වී දුරුව
සෙවීමට මඟක් මෙතුවක් කල් බැරුව
අනේ හිමියනේ අපි පෙරළන් ඔරුව





කවි සොයා බලමු
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු
තවත් අය හා බෙදා ගනිමු 

Monday 2 May 2011

හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ




තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ
කොනිත්තන්න වත් මතකය මට නූයේ
විපත්තිනම් එක පිට එකමයි වූයේ
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ


ඇවිත් යන්න එනවා කියලා ගියද
අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද?
නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද
කවිත් එපා වෙන්නට අරුමය කිමද


ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට
මිදිත් තිත්ත බව නොකියා කීවාට
කලුත්ගොස් කේජු රස නැති වූවාට
හෙනත් ගැසුවේද පැණි වරකා ගහට


කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව
ගියත් බොහෝ දුර කිරි කළ බිම හැළුව
තවත් පමා නැහ, කොක්කුන්ගෙන් දුරුව
ඇවිත් ගියා නම්.... ! දැන් ඇති කල් බැලුව.


කවි සොයා බලමු,
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු,
තවත් අය හා බෙදා ගනිමු 

Sunday 1 May 2011

සඳ ගිනි ගත් සද





කොනිත්තමින් මතකය රිදවුම් දේය
තරුත් නිවි වළා පට දොරගුළු ළාය
නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය
සඳත් නිදිවරා ගිනි ගත්තා සේය


පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය
තවත් හැඩවෙමින් සයුරට හිත පෑය
ගියත් සුළඟ හා බොල් වී සමුදාය
අමුත්තක් ඇයිද කෝ? සඳ ‍රැස් යාය


දියත් පතල මුත් නුඹේ සොමි ගුණ සෑය
නිරුත්තර වුණේ සඳ අබියස මාය
බලත් ය මා දෙස, හැඟවෙන්නා සේය
නමුත් දනිමි මම, මා දෙස නොබලාය


සිරිත් සව් සපිරි වට මඟුලක් සේය
යළිත් හෙට දිනේකදි සඳ නැඟ ඒය
තරුත් හිනැහෙමින් සඳ හා නැලවේය
එදත් මට මෙසේ සඳ ගිනිගත් සේය...


Monday 18 April 2011

සිහිනෙන් ගෑ සුවඳ


සිතුමිණ සොබාවා
මාසිත පහන් වූවා
ඒ එළිය ගාවා
තව සිතක් බැබළෙමින් වූවා


පෑදී දිය ලෙසින්
දු‍ටුවත් මහරු විලසින්
බොර දියට හැරෙමින්
බොඳවුණේ ඇයි සිත හඬවමින්


සිහින් මඳ නැල්ලේ
අසිරියෙනි නැළවිල්ලේ
තනිව ළතැවිල්ලේ
හැඩූ කඳුළිනි සිත තැවිල්ලේ


සිහිනෙන් ගෑ සුව
සුවදේ නිදියනා ස
ඇහැරී සිහින මැද
සොයන්නේ ඇයි ඒ සුවඳ පොද


නුඹේ නමට කැපවී
ඒ සිහිනයෙම ‍රැඳවී
ලැබූ පිය පදවී
තබා මාළඟ කොහිද සැඟවී


නොවී සිත එකලස්
හැඬූවද කදුළින් රොස්
බැඳි පෙමෙහි අනුහස්
වලින් හඬනා හිතද වේ තොස්


තුටින් මඟ බලමී
එනතුරු ඇඟිලි ගනිමී
පුදුමෙකට නොනිමී
ඇඟිලි අතරෙහි දවස් හරිමී...

Sunday 17 April 2011

යන්නේ කවදාද මහ රජු දකින්නට




අළුත්  ජනකවි 8 මෙතනින් කියවන්න


කන්නේ මාළු මයි හිතෙනා විටින් විට
බොන්නේ ලැබෙන දේ කළ පව් වලින් පිට
ඉන්නේ කැළණියේ පරවේනියයි මට
යන්නේ කවදාද මහ රජු දකින්නට


මං බාලේ පටන් වැලි කෙලියේ මිතුරු
දැං රාලේ රජුන් හා කෙළි නම් නපුරු
මුං කෝලේ කලත්,   දවසක  දී නුඳුරු
අං ලීලේ බලන්නට එන්නෙද  කවුරු


ගස්සා අඩි තබා ලොක්කා වෙමිය කියා
පුස්සා නටපු හැටි දැක්කම හිනහ ගියා
බස්සා වගේ හිටියට නොදොඩමින් පියා
නිස්සා නිසි තැනදි උස්සා තියයි එයා


පිට ඉදන් අපිට බැන අඬ ගැසු වාර
ගෙට ඇරන් යන්න පෙන්නා දුනි පාර
හොට  ඇනන්  විහින්  නැති වුන කල ධූර
මට නොවේ අඩව් නැට්‍ටුන්ටයි බාර


කවී කී කට කෙදිරි ගානා නියාවේ
අවි බිම තැබූ අපිට කවුරුත් හිනාවේ
සවියට අපේ වඟක් වත් නැති වෙලාවේ
මැද පෙරදිග ‍රැල්ල වත් වාසනාවේ

Saturday 16 April 2011

ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි




ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි.....

ඇසින් නොදු‍ටුවත් කිසිදා, දු‍ටු ලෙසිනි
තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි
විටින් විට මතක මං පෙත් අහුරමිනි
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි,


නොවී පමා අනුදත් කව් ගී මතුර
තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර
සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර
ගෙවී ගිය වසර, දින ගනනක් විතර


රන්දා සිනාවෙක දුක ‍රැඳුන කඳුලෙක
බින්දා වුව සිතැඟි දැන නොදැන කාලෙක
හින්දා හිත මිතුරු , සිත් බැඳුන යායෙක
මන්දාරමක් නැහ මෙහි පෙනෙන මානෙක


ලියු දේ සිත් බැඳුනි, සිත් බැඳි දේ ලීව
කියු දේ ඉ‍ටු නොවිනි, ඉ‍ටුවෙන බව කීව
පියුමකි සිත් විලේ, පිපි සැනෙකින් දෑව
සෙයුවෙමි මම, තවත් හමුවී නැත මාව


විස්තර බොහෝ විය ගී කවියට හැරුණූ
ඉස්සර වගේ ඒ ගී කව් රස නොව්නූ
ඇස් හැර බැලූවෙමි බොහො දෙන, නැත ‍රැඳුනූ
දුස්කර වෑයමෙහි ඔය ලෙසටය කරුණූ


ඇතිවී නැතිව යන දිය දහමට නතුව
නිති සරදමට ලක්වේ හැම දේ පැතුව
ඉතිරෙන සුභ පැතුම් පොද වැස්සෙහි තු‍ටුව
සිතිවිළි වළාවකි, සැඬ සුළ‍ඟෙක මුසුව


මිතුරනි ඉතින් බ්ලොග් පි‍ටුවල සැරි සැරුව
සතුටිනි නොමින් හෙට දවසක් ගැන පැතුව
නිදුකිනි නිතින් තව බෝ කල් යල් තු‍ටුව
සපැමිනි ලෙසින් විත් මෙහි, යනු මැන කැ‍ටුව

Wednesday 13 April 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා





පිස  එන මඳ සුළඟ එක් වූ දෙසක ‍          රැස
‍රැස  කට අළුත් අවුරුදු පැතුමකිය        තොස
තොස  දෝරේ ගලා බ්ලොග් වියමනෙහි  යස
යස  සිරි උදාවේ සැම දුක කඳුළ              පිස

   ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා


Tuesday 12 April 2011

හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා



ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ
කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ
තවත් මතක  මතකෙට නොනැගෙන මානේ
නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ?

විස්තර අසාගෙන  යනමං දැන හැඳින
ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින
ඇස් හැර බලන්නෙද පෙරදා දු‍ටු සිහින
නිස්සර අකුසල් ද මේ  කුසලට හැරුන

ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ
කැපවී සිටින්නේමි ශුභ නැකත ගෙන අතේ
ඇපයට සංක්‍රාන්තිය නොවෙද ජීවිතේ
අපහට කොහෙද අවුරුදු තවම නොනගතේ

රන්දා සිනා, වත සඳ මඬල කිති කවා
මන්දාරම් කඳුළු ඉකි බිඳුම නැවතුවා
වින්දා අසිරි සිරි තරු පොකුරු විසුරුවා
හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා


..

Monday 28 March 2011

ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා



ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා 
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා


සියල් සිරිත් හැර උඩුගං බලාගෙන 
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන 
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන 
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන


සුපුන් සඳේ තරු පිරිවර හා ‍රැඳුන 
ඉතින් නැවත මා එනතුරු මඟ බලන 
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ 
පිපෙන්න ඇයිද? මල් අකුලක ‍රැ‍ඳෙන



පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී 
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී 
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී 
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී

Saturday 5 March 2011

සඳ වතක් වුනා නුඹ මට ,


සඳ වතක් වුනා නුඹ මට,
 තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී  නිතින්

දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
‍රැඳුනි දෝ ළඟින්

නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත්  නුඹෙ වඟ
කොඳුරලා  ගිහින්

දුර ගියත්  හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ ‍රැක
හිඳිනෙමී ඉතින්.....

Friday 11 February 2011

නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන


හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද
දුකට උණු කදුළු වල පහසම වින්ද
එකට යා නොහැකි උසුලා දුක් කන්ද
දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද

වදන් වල අරුත් පසිඳා ගත හොහිනී
උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී
සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී
පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි

උඩු සිත් අරා නැ බෑ කීවත් අරම
යටි සිත් තු‍ටු වු අරුමය කියනුද කෝම
පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම
මුනිවත් රකින යුරු ඉවසන්නද මේම

කිසිදා එක් නොවෙන එක ළඟම ඈඳුන
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන
වෙනදා වගේමයි  ඒ සිතම පෑහුන
හැමදා ඉඳින්නද මේ ලෙසින් නෑසුන.......



Thursday 3 February 2011

නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද


හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී
ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී
නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී
මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී

සිහිනෙන් ගෑව සුවඳක් මෙන්  සිත ඇන්ද
විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද
සුපසන්  ඇල්ම ඇල්වී , බැමි දු‍ටුයෙන්ද
නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද

සියපත් සේ සුමුදු පිවිතුරු  පෙම බැන්ද
සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද
නුඹ ලත් දුකම විඳි,  මම නොනිදා නින්ද
තවමත් ඒ සිහිනයෙම ගැල්වී මන්ද

හඬනා දුක දැනී කඳුළෙහි  පතුල නෙරා
කිපුනා  සොබා දහමත් රුදු ගතිය දරා
ගලනා ලෙස සයුර පරදින කඳුළ අරා
හැපුනා නිල්වලාවත් සිය ඉවුරු ඉරා

දිරියෙන්  දිරි දරා ජය ටැඹ වෙත ඇදෙන
නුඹවන් කෙනෙකු හට  එහි ඉනිමං බඳින
නොමවන්නට නොදී අවැඩක් හෝ සිතින
පුලුවන්නම් මටත් එය සතුටකී නිතින

Wednesday 19 January 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර






නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....