Tuesday 28 December 2010

කල් බලන් ඉඳලම ඇතිවෙලා





නෙතු පියාගෙන හිත ගොළු වෙලා
නුඹ  හිතෙ පතුලෙම සඟවලා
සිතුවිළි කලලේ කල් සපිරිලා
කල් බලන් ඉඳලම ඇතිවෙලා


මුව සිප බදා  තුරුලට වෙලා
නුඹ කියු කතා නැත ගොළුවෙලා
මුළු ‍රැයම නෙතු පියවෙනු නොලා
ඒ සිහිනයම සිතුවම් කලා

නුපුරුදු නුහුරු සුවඳක ගලා
ආ මිහිරි මතකය පුරවලා
හිරු නැගෙන සඳ, හඳ බැස පලා
යන ලෙසින් කොහෙදෝ සැඟවිලා

රණ මොනර  නැ‍ටුමක පැටළිලා
යන ගමන ගැන අමතක වෙලා
නුඹේ මඟත් මම අවහිර කලා
ඒ  නිමිත්තම තවමත් බලා

කොයි කවුරු වෙද මෙය හිස සලා
අනුමත කරන්නට සැරසිලා
නුඹ වගෙ හිතට කීකරුවෙලා
ඇයි ?යන්න බැරි  මට නැවතිලා

දින දවස් ගෙවෙමින් පසුවෙලා
අපි අළුත් වී වියපත් වෙලා
නුඹ අතැර යන මතකය හලා
යනු නොහැක, ඇත මා සිත වෙලා

වස් දොස්  සියළු දුක් අකුලලා
නුඹ අළුත් ඇසකින් ලොව බලා
යන ගමන  ඈතින් ඉඳ බලා
සිත හදා ගමි ඈතට වෙලා