Saturday 29 May 2010

සමනළ සිහිනයක


සමනළ සිහිනයක නුඹ ආවා මතකයි
මඳනල පවා ගෙන ආවේ ඒ සුවදයි
විදහල ප්‍රේමයේ  අනුහස නම් පුදුමයි
සමනළ සිහිනයේ තාමත් නුඹ කොතනයි

නෙතු සපිරුන  තරම් හිත නොපිරුනාද?
පැතුමන් සපිරි,හුදු හැඟුමන් වුනාද?
උතුරා  ගැලූ සෙනෙහස වියළුනාද?
මතු සසරේ කතාවට මක් වුනාද?

නොතරම් නොවූවත් කල්බැලූ  පෙමට අපේ
සැමරුම් අදත් මඟ තොට දැක පොළවේ හැපේ
නුඹ නම් එමඟ හැරදා ගොස් නො එන කපේ
කොතරම් සුන්දරද ඒ මල් තවම පිපේ

නොදනිමි කුමක් දෝ මා දොස තවම නොකී
නොකියමි දොසක් නුඹ ගත් මඟ හරිය සකී
වැළපෙමි කියා කීවත්  නුඹ මා නොදකී
සිටිනෙමි මමත් නොමදී හදවතට ඉකී

මලකට දැනෙන දුක  බඹරා නොම දන්න
පසෙකට ලා තවත් මල කට පිය මැන්න
බඹරුට මල්ය , මල කට  බඹරෙකු වන්න
හිතකට  දුකක්  නොම දෙන බඹරෙකු එන්න

ගතත් සිතත් වෙහෙසයි පෙම් බස් දොඩලා
ඇසුත් අතුත් අපුලයි බඹරුන් ‍රැකලා
තවත් ඇවිත් යන හිතකින් නොම ‍රැඳිලා
මමත් නුඹත් හඳුනයි දෝ සිත් සැදිලා

සමනළ සිහිනයම හිත අද්දර තබමි
සමකුළ බඹරකුට මුලු හදවත පුදමි
බැමිතල හකුලුවා  මඟ බලමින් හිදිමි
හිමිකල මට උරුම  ඔහු වෙනුවෙන් තබමි