Thursday 13 May 2010





කොහේ සැඟවිනිද ?.... 

පුන් සඳ සේම මෝරා අහසේ දිලුනු
රන් කෙදි සේම පිපි සූරිය මල නමිනු
පින් බර සුමුඳු වත  මා වෙනුවෙන් පිපුනු
සන්තක වුනාවද? තව හිතකට කුළුනු

සූරිය මල කොහේ පිපුනත් හිරු පල්ලා
සූරිය මඟම  ගති, නිරතුරු නෙත් අල්ලා
වීරිය පාරමී නුඹ වෙනුවෙන් ඉල්ලා
කාරිය කිම මෙසේ, මම මෙහෙ තනි කරලා

පිපුන පිපුන  මල් අතු අඟ පරවීය
බමන බිගුන ගෙන් අඩුවක් නොම වීය
කුමන කවට කම්,වුව දම් එකසේය
ගිමන නිවන මඟ, කවදත් පි‍ටුපෑය

හිතින් වැළඳ ගෙන  හිත තුල රුවාගෙන
ගතින් සිතින් එක්වන දින හදාගෙන
අතින් අත සපත,  සුළඟේ ගසාගෙන
ඉතින් නුඹ කොහිද මම මෙහෙ බලාගෙන.....

පියවිලි අතුරමින් පෙරමඟ කොඩි ඇන්ද
මැසිවිලි කියන්නද  හිතකට පෙම් බැන්ද
සිතිවිලි නුඹ දනී, ඒ හිත දුක් වින්ද
පැටලිලි නම් තමයි,අසලක නැහැ නින්ද

එපා කියද්දිත් නෑසිය මිතු රෑන
නුඹේ සිහිනයෙම කෙලවර අල්ලාන
මහා දුරක් නොව දින ගනනකි නේන
කොහේ සැඟවිනිද? කවුරුද මට කියන...


16 comments:

Anonymous said...

මේ තරමටම ඔබ ඇයි ආලය කෙරුවේ
ඈය හට ඔබව අමතක බව ඈයි සිතුවේ
ඇය මංමුලා වී ඇත ඇගෙ සිත් මඪලේ
ටික කාලයක් දුන්නොත් නරකද සබඳේ

රවා said...

අපුරුයි ..........

මම said...

දුක් වනු එපා ඇය නෑ ඔබ රවටන්නේ
මෙමට වඩා ඔබමයි ඇය ගැන දන්නේ
ඇගේ සොදුරු සිත රිදිලද නෑ දන්නේ
තව කෙටි කලක් ඇය වෙනුවෙන් ඉවසන්නේ..

විහඟ ගීතය said...

@වත්

රෑ බෝ වෙන්න ළඟ ජීවිත සැන්දෑවේ
මම මඟ බලන්නෙමි, මන්දෑ නුඹ නාවේ
ඇයි ..? මං මුලාවී,ඇයි..? හිත ගිනි ලෑවේ
කාලය තමා නිතරම හරහට වූවේ

Anonymous said...

මහ මෙර තරම් දුක් උහුලපු නුඹෙ පුපව
දුක් ගිනි නොදෙන්නෙමි නැවතත් කිසි දිනෙක
වෙන්වනු නොහැකි බව දන්නෙමි නුඹට මට
හිත කරදයි කීමට මට නොහැක එය

විහඟ ගීතය said...

@රවා

ඇවිත් මේ දෙස
අකුරු හතරක්
ලියන ඔබවත්
අපූරුයි

ගලා ගෙන යන
අතිතයේ
ගඟ.. ගලන
අවුරුත් අපූරුයි

විහඟ ගීතය said...

@මම

දුක් වනු නොවේ, මේ ඇත්තයි කියන්නේ
දැක්මම නොවේ අපගේ සිත් හදන්නේ
වික්මැති පෙම කොහේ ඉද තනි රකින්නේ
ඉක්මන් නොවී මම මේ මඟ බලන්නේ

විහඟ ගීතය said...

@වත්

මහ මෙර තරම් බර මෙතුවක් උසුලාන
ආ මඟ නුඹේ හමුවත් ආසිරි ගේන
යා නොහැකිය මඟක තනියම නුඹ නේන
පින්බර නුඹය මට හිරු ,තරු, සඳපාන

චමිදේවා said...

ජීවන ගමන නුඹ හා යන්න
ඈ ඒවි ලඟදිම ඔන්න
ඒ දිනය ඈතක නොම වන්න
පැතුමයි මාගෙ හද පතුලෙන් පැන්න

විහඟ ගීතය said...

@චමිදේවා

බොහොම පිං මේ දෙස
ඇවිත් දුක සැප බැලුවට
දිනක් ඒයි අපහට
ළඟදීම, හැබැහින්ම
හමුවට....

Anonymous said...

අතින් අත සපත කෙරු ඒ දින පල්ලා
සිතින් වැළද ගෙන මම නිරතුරු සිටියා
ගොසින් කොහොම මාපිය බස පි‍ටුපාලා
ලගින් ඉදිමි මතු බවයක ඔබෙ වීලා


ප්‍රියංගි

විහඟ ගීතය said...

@ ප්‍රියංගි

හිතන්නට පවා වූ බියකරු හීන
දකින්නෙමි දවල්ටත් ‍රැ විලසේම
ඉතිං තවත් භවයක් ගැන හිතලාම
තුටින් සින් කරමු මේ භවයේ දීම

මැණික්(සුළඟ) said...

තරු පොකුරකින් රන් තරුවක් නෙලාගෙන
මල් අහුරකින් මල් සුවඳත් සොරාගෙන
ජීවිතයට ඔබේ සඳ හිරු පුරෝ ගෙන
ඇය ලඟ ඒවි නොහඬන් හිත තලාගෙන
මැණික්(සුළඟ)

Srimanjula said...

පියඹ නොදුටු විහඟකු ගේ තුඩින් ගලා
දුක් ගීයක් ඇසුණි මා දෙසවනම වෙලා
ඈ කොහිද????? යයි විමසයි සැම තැනම බලා
ඔය ඉන්නේ!!!! ඔබේ හද පතුලටම වෙලා

විහඟ ගීතය said...

@ මැනික් (සුළඟ)

ඒ තරු එළිය මට නිසි මඟ කියාවී
මා පැතු මලේ සුවදින් හිත හදාවි
ජීවන මගේ අත්වැල ඈ සදාවී
ඈ එන මගේ ඇස් දල්වා ඉදීවී

විහඟ ගීතය said...

@ ශ්‍රි මංජුල

මිටි කොට සු‍රැකි විහඟිය දිවි සපුරාම
සිටි හැටි මතක් වී දුක් කවි මතුලාම
වට පිට බල බලා කල් ඇරියට තාම
ඔබ හරි ඇය හිදී මගේ හිත පතුලෙම