Saturday 12 June 2010

කුඩේ තියාගෙන

කුඩේ තියාගෙන




තුඩෙන් තුඩ තියා කී ගී නිමක් නැතී
හැඩෙන් හැඩ බලා කොපමන කලක් වෙතී
විඩෙන් විඩ මෙලෙස හමුවී පලක් නැතී
කුඩෙන් මුවා වෙන්නට නුඹේ හිතක් නැතී


සියල් සපිරි පතිකුල මුනිවත බිඳින
විසල් ලොවක  දෙදෙනෙකු එක්වී බැ‍ඳෙන
විකල් නොවී පෙරමඟ අරමුන හැඳින
රුකුල් වෙනු මැනේ අත අල්ලන් ගමන


හඬේ බාලවී දොම්නස හිත ඇඳුන
මඩේ හිටියා සේ අරමුනකින් මිඳුන
හැඩේ නුඹ මසිත සහසුද්දෙන් හැඳින
කුඩේ තියාගෙන අපි වැස්සේ තෙමෙන

18 comments:

චේජනා said...

කුඩේ තියාගෙන පොද වැස්සේ තෙමෙන
පෙමින් බැඳී අතිනත් අරගෙන බැඳුන
එක වහලක සෙවණේ දිවි ගෙවන දින
කුඩේ මදි කුඩ දෙකක් ම අවැසි වන

Anonymous said...

නුඹත් නුඹෙ සිතත් කවදත් මම කැමති
කුඩෙත් නුඹෙ අතෙයි සැමදා මා කැමති
වැස්සට ගොඩ වෙලා හිත රිදවා ගත නොහැකි
තෙමි තෙමි ඉඳිමි වාවාගෙන දුක සදිසි

Anonymous said...

හිතේ තියන් දුක් උසුලනු බැරි හින්දා
මෙපමණ ලං වෙලත් දුර කින් සිත රන්දා
නුඹටම දොස් කියා හිත පෑරුව හින්ද
දඬුවම් කරනු මා අත වරදයි සැමදා

Anonymous said...

ළං වී තෙපුල් පවසා සිත හදන්නට
අවැසි නමුත් මේ මුනිවත බිදින්නට
පවසා ගත නොහැකි කඳුළක් උරුමයට
මම නම් මෝඩ ළඳකී පෙම් කරන්නට

මාතලන් said...

හරීම ලස්සනයි... කුඩේ කැඩුනු ගීතය මතක් උනා...
ගීතයකට මරු....

විහඟ ගීතය said...

@චේජනා

වැස්සට මුවා වී එක කුඩයේ හිදින
දවසට නම් කුඩේ ඉඩ කඩ මදි නොවින
ගස්යට නැවතිලත් පොද වැස්සට තෙමුන
පසුවට කුඩ නොවේ වහලෙත් හිල් පෙනෙන

විහඟ ගීතය said...

@වත්

ඇවිත් දුර ඉදන් පොද වැස්සෙන් මුදන
කුඩත් ඉහලගෙන කල්බලමින් ‍රැඳුන
නමුත් ඒදිහා බැල්මක් වත් නොලන
මමත් කුඩ දරාගෙන වැස්සෙම තෙමෙන

විහඟ ගීතය said...

@මාතලන්

ඇවිත් ලියූ දේවල් කියවනා නිති
ඔබත්, අදහසුත් , තව කවි සිත් හදති
"කුඩේ කැඩුනු ගීතය" මම අසානැති
ඇසිය හැකි මඟක් දන්වා එවනු සකි

Anonymous said...

සියල් සපිරි පතිකුල මම බිදින්නෙමි
විසල් ලොවේ මා තනිවී සිටින්නෙමි
විකල් සිතින් නුබ යනමග බලන්නෙමි
රුකුල් නොදී කුඩෙන් මුවා නොවන්නෙමි

එක් වී කියු ගී දෙසවන ‍රැව් දෙනවා
හැඩෙන් හැඩ බැලු එදවස් සිහිවෙනවා
විඩෙන් විඩ අපේ දබරය රජයනවා
කුඩෙන් මගේ මුන පමනක් සගවනවා

ප්‍රියංගී

දුකා said...

කුඩේ අත ඇතත් එන්නට බය නම් ඈට
සියල් කුල සිරිත් බිඳින්න කිව හැකිද
අතේ දුරින් මිතුරන් වී හැම දිනම
සිටියා නම් මේ කිසි දුක් නෑ නේද . .

Anonymous said...

කුඩෙත් අරන් නුඹ දුර ඇතක ගියෙද
අනෝරා වැස්සෙ මම තෙමි තෙමි නේද
කුඩෙත් එපා විග නිගහින් නුඹ එන්න
දුකෙන් තෙමී මම මිය යන්නට ලගය

Anonymous said...

අනේ මට මේ පෝස්ට් එක මගහැරිලනෙ. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින් ඔයාගෙ කවි කොහොමත් ලස්සනයිනෙ.

ගල්මල්-Coral said...

කඩේ කුඩේ තියෙනා වැස්සක් සොයන
කුඩේ අතේ තිබිලත් තනියම ගමන
කඩේ කුඩේ තියලා වැස්සේ තෙමෙන
කුඩේ යටින් එක්ව යන්න වැස්සක් වහින

විහඟ ගීතය said...

@ ප්‍රියංගී

පතිකුල බිදන් ලොව තනිවී සිටීවිද
හැමකල එලෙස ඉන්නට හිත හැදේවිද
මියගිය මතක සිහිනෙක සේ ‍රැදේවිද
පොද වැස්සකට වත් හිරිකඩ වැදේවිද

විහඟ ගීතය said...

@දුකා

පොද වැස්සෙන් මුවා කරගෙන අත අල්ලන්
එක කුඩයක මුවා වී සිත සැනසිල්ලේන්
යන මේ ගමනේදී, ඇය මගේ ළඟ ඉන්දන්
යා හැකි නම් යෙහෙකි හිත සතුටෙම රන්දන්

විහඟ ගීතය said...

@වත්

කුඩෙත් තියාගෙන වැස්සේ තෙමීගෙන
ඇවිත් නුඹ දකින්නට හුදකලා වෙන
මහත් වැසි යයි නොසිතුවා මෙන
අනේ නුඹත් මම වාගේම තෙමීගෙන

විහඟ ගීතය said...

@ isimbuwa

ඇවිත් නිතරෝම මේ පැත්තේ යනෙන
කවිත් බලා ගෙන එහි ගුණදොස් ලියන
නමුත් ගිය දවස් වල මෙදෙසට නො එන
අමුත්තක් දුටිමි ඇයි? වැස්සද වහින

විහඟ ගීතය said...

@ ගල්මල්-coral

පියාබන විහඟයිනි වැස්සේ තෙමෙන
සොයාගෙන එයිද කවුරුත් කුඩ ‍රැගෙන
බලාගෙන මගක් පොද වැස්සෙන් මිදෙන
තියාගෙන කුඩේ හැමදාමත් තෙමෙන