Friday 25 June 2010

මිහින්තලේදී........



එඩියෙන් බිම දමා රුපුසෙන් ජාලාව
මැඩියෙන් රටට වින කරවූ මායාව
පඬියන්  කොහෙද අද? අපි හට බෑ කීව
කොඩියෙන් පෙනේ රට එක්සේසත් වූව


අඟේ ඉදන් කන හපනා අපේ අය
යුගේ යුගේ ඇතිවී නැතිවෙලා ගිය
රඟේ දුටිමි, කළ කී දෑ නොදෝමය
මගේ රට දැයත්, දහමත් අපේමය


යාමයේ සතුරු බළ ඇනි බිඳදාන
ජීවයේ  අරුණු රටකට ගෙන ඒන
මානයේ බලය ගන්නට දත පාන
හීනයේ ‍රැදුනු ‍රැළකට වී බාන


බැට වැදිච්ච අමනුන් ‍රැළ හා සාම
වැට බැදිච්ච  කළදී, එක ගෙයි කැම
වට නොවිච්ච කළ දු‍ටු සිහිනයේ සේම
කට කැඩිච්ච සුදුකොඩි පාවාදීම


උදා ගිරෙන් ‍රැස් දහරා ඇඳුනාය
නිදා සිටිය දහසක් සිත් හැදුනාය
බදා ගිනි අවිත් මුදු සිත් තැළුනාය
මෙදා ඔවුන්ටත් ජය මංඟල ගීය


වෙලාවෙදි නපුර විත් ගම් බිලි ගද්දී
නලා පිඹ දුවන්නට උපදෙස් දෙද්දී
මළා මෙන් දැයට වින කටිමින් පැද්දී
බලා ගෙන හිටපු අය එකමුතු වෙද්දී


වසවත්තියන් ලේ රස බැලු පින් බිමට
නස්පැත්තියක් ආයෙත් නම් නොමවෙන්ට
පුදපෙත් ගෙනෙනෙ අය සිරිමා බෝඳුන්ට
බසවක්කුලම පේවි ඇත පිළිගන්ට


පොසොන් සඳ හිනාවි අම්බස්තලට
ගෙනෙන් නේ පහන්සුව  මුලු ලක්දිවට
පිනෙන් ඒ උතුම් දරුවන් ලත් දැයට
ඉතින් වාසනාවන් මේ පින් බිමට......





7 comments:

Anonymous said...

විහඟ ගීතය අද බාවිතා කරපු සමහර වචන වල නොගැලපීමක් තියෙනව කියල මට හිතෙනව. මගේ තේරුම් ගැනීමේ අව්ලක්ද දන්නෑ. තරහ නැතුව පොඩ්ඩක් බලන්න.

විහඟ ගීතය said...

@ isimbuwa

විරසක වුන රටම එක් සේසත් කරපු
අරුමෙක මහත පසොලොස්වක හඳ දැකපූ
කතරක ඉදන් ඒ හඳ එළියම විඳපු
වචනෙක වැරද්දක් නම්"සොරි" මම කරපු

ගල්මල්-Coral said...

උනට බැරි විකුම් අපෙ උන් පෑ හින්දා
උනට සරි ලෙසිනා නැටුවේ නැති හින්දා
උනට අවි විකුනන්න මග ඇහිරුන හින්දා
උනට අවනතින් බසිනා ජගත්
හඳ පලුවත් මෝදුවෙන්න තැත හින්දා

තතු විමසන්න ද කොමිසන් බැන්දේ උන්දෑ
දැන්වත් එකමුතු වේවි ද කුලක් කාගන්න අපෙ උන්දෑ

ගල්මල්-Coral said...

අළුත් සළු පිළි ලස්සනයි , බොහෝම හැඩයි අඩවියේ පෙනුම.

විහඟ ගීතය said...

@ ගල්මල්-coral

ඔබත් මමත් එක හීනේම දකිමින්න
රටත් දැයත් වෙනුවෙන් පේවී ඉන්න
නමුත් තවත් නඩයක් බොරු සිල් ගන්න
ඇවිත් බලත් බොරදිය තව කලඹන්න

Thanoja Rajapaksha said...

අදමයි ආවෙ විහඟ ගීත දැක ගන්න

අනේ බැහැ වගෙයි මට ආපසු යන්න

ඒ තරමටම විහගගෙ ගී හිත ගන්න

ආසයි ආයෙ ආයෙත් ගොඩ වී යන්න

විහඟ ගීතය said...

@ තනෝජා රාජපක්‍ෂ

ඇවිදින් විහඟ ගී වල රස විඳගන්න
විඳිමින් රසක් , මොනවා හෝ ලියමින්න
ලියමින් ගුණ අගුන හෝ දොස් විඟසින්න
විඟසින් අයෙත් මේ දෙස ඇවිදින් යන්න