Saturday, 7 August 2010

නොදු‍ටු හිරු


කරුවල පි‍ටු දකින්නට සඳ එළි පැතුව
බොරු වලවල් වලම නිරතිරුවම කො‍ටුව
හිරු මල පෙනෙද්දිත් ඒ ගැන වග නැතිව
මරුවැල නොපාගා ඒ අසළම නැ‍ටුව


බැටකා ගිණි පෙනෙල්ලෙන් පාඩම් ලැබුවේ
විටකදි කණ මැදිරි එළි වලටත් හැඬවේ
පිටි කා ඉවර වී කැවුමට පිටි මදිවේ
නොතකා හරිනු කොහොමද? තවමත් සිහිවේ


කලින් කළ පළින් පළ කීවා සේම
හෙමින් හෙමින් නුඹ මවෙතට ආවාම
ගිමන් හරින වගකුත්  කිසි නැතිවාම
හොරෙන් ගියේ ඇයි මාහට නොකියාම



කලුත් ගොසින් දැන හඳුනා ගත්තේද
සිරිත් විරිත්  කුළ මල ගොත් ‍රැක්කේද
නුඹත් මමත් මේ සසරේ එක්වේද
විරිත්තමින් පි‍ටුපා යනු සිත් වේද



කලකදි රහලු ..ඒ රහ නම් දැන් නෑලූ
විටකදි හමුවෙලා වස විස කෑ සේලූ
දුකකදි මට අදත් මමවත් නැතිවීලු
විලකදි මාලු හමුනොවුනට දුක නෑලු

9 comments:

Shadow/හේමලයා said...

නියම කවි ටිකක්......

විහඟ ගීතය said...

@Shadowහේමලයා
පෑහෙන නොපෑහෙන අරුමය දකිනු බැරි
වැහෙන කඳුලු වල දුක දැක හිඳිනු බෑරි
රෑවෙන කලට ජීවිත අරුනළු නොපිරි
හේමලයාවගේ නිරතුරු ‍රැදෙනු බැරී

priyantha.ඒබී said...

කවිය අපේ සිත් නිවන්න හොඳ මගක්.
නියමෙට ලියල තියනවා.

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

ගෙවෙනා විටදි දිවියේ බර කරපින්නා
නොහේනා ඉසව්වට දිවියත් දක්කන්නා
නොමනා කල දැනෙන විට දුර ගොස් දෙන්නා
හඬනා හිතක කඳුලට මෙය එක්වෙන්නා

wath said...

සැමදා සැමදෙන නැහැ පරදින්නේ
අඳුරෙන් අඳුරට නැහැ නුඹ යන්නේ
මිය ගිය හිරු ගැන නොම දුක් වන්නේ
අලුත් ඉරක් හෙට පායනු ඇත්තේ

විහඟ ගීතය said...

@ වත්

පැරදෙන හෝ දිනන එක කාලයට තියා
පැරදුනේ ඇයිද? ඒ ගැන හිතනවද ඔයා
දුරකට නොගොස් බැලුවොත් විමසමින් හොයා
මදකට හෝ හිතෙයි මුල අපි ලඟම කියා

wath said...

මුල මැද අග සොයමින් බෑ ලත වෙන්න
මට නම් ඇවැසි ගස මුල වී සැත පෙන්න
අවුවට පිච්චුනා දැන් ඇති මට ඔන්න
මහ නුග රැකක් වී සෙවනක් සපයන්න

විහඟ ගීතය said...

@ වත්
‍රැකෙන්නේද නුඟ සෙවනෙහි පහස වැද
සිටින්නේද ඒ සිසිලෙහි සුවය විඳ
දැනෙන්නේ නැතිද නුඟ රුක විඳින වද
දකින්නේද විඳි දුක හිරු කිරන මැද

wath said...

නුග සෙවනේ පහසින් මම රැකෙන්නමී
සිසිල් සුවය එහි මුල සිට විදින්නෙමී
සිතකට බරක් කිසිදා මම නොදෙන්නෙමී
කතරට මලක් වී නුඹ ළඟ පිපින්නෙමී