Thursday, 19 August 2010

විරාමය


ගලා ගෙන එන රශ්මි දහරා
පුරා මගේ ලොව එළි කරයි
විරාමය කෝ අපව හමුවෙන
හිරුය හිමි නුඹ ,සඳු මමයි


පෙරා ගත් සෙනෙහසින් ඒ ‍රැස්
නුඹේ අභියස සිසිළ දෙයි
වළාවක හැංගිලා ඈතින්
දුර ඉදන් ඒ මම තමයි

කලා සොළොසම පැහැය වෙනතුරු
බලා ගෙන හිඳ සැනසුනයි
මුලාවකි ඒ සොඳුරු බව මට
අමාවවක දී සැඟවුනයි...



7 comments:

Shadow/හේමලයා said...

හඳ වලාකුලකින් වැහෙන්නේ ඇස්වලට විවේකයක් දෙන්නලු.......:)

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

හිරු උදේ එබෙන්නේ සදු කුමරි දක්නටයි
සදු කුමරි සැගවෙන්නෙ හිරුගෙ සැර වැඩි නිසයි
සියුම් හදවත් සෙව්වෙ හැගීම්බර සිත් මලයි
සදුගෙ පෙම පුරවන්න රෑ දිලෙන්නේ තරුයි..

priyantha.ඒබී said...

ඉහල සිට කියවලා බැලුවත් ලියන්නට අදහස් නැතෙයි
උදේ සිට මෙහි වචන සෙව්වෙමි අගය නිම් නැතෙයි
කිසිත් නොලියා පලා යන්නට අදත් මට බෑ සිතෙයි
අවුල්මනසට ඔබේ කවි පෙල ගෙනෙන සහනය අපමණයි

wath said...

සැඟව යන්නට නොහැක නුඹගෙන්
මිය දුනොත් මිස මා ලොවෙන්
එකම අහසක පෑයුවත් අප
හමුවීම බොහො දුර වගෙයි

මැණික්(සුළඟ) said...

ගලා ගෙන එන රශ්මි දහරා
පුරා මගේ ලොව එළි කරයි
වළාකුළු යට සැඟව හිඳිමින්
සිනාසෙන්නේ ඔබ තමයි
මැණික්(සුළඟ)

පබලු said...

අමාවකවී සැගවුනත් ඒ
යලිත් පුරහද වී වඩියි...
නමුදු පෙම් නොකරන් කිසිම විට
අමාවක යළි එන හැඩයි...

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
@ priyantha.ඒබී
@ වත්
@ මැණික්(සුළඟ)
@ පබලු


ඇවිදින් යන්න සුපුරුදු ලෙස දොර ඇරලා
විගහින් එන්න හිතමින් එලියට බැහැලා
පිටමන් උනත් ආපහු එන දින ගෙවිලා
සතියෙන් භාගයක් පිට ඉන්නට යෙදිලා,

ආගිය ඔබේ දුක සැප විමසනු බැරිව
හේගිය ලෙසින් ගෙවුනත් දින දින දුරුව
පෑ පිය සබඳ, නිරතුරු ‍රැදෙමින් ගුරුව
කාලය යළිත් ඉඩදුනි දැකුමට යුහුව

හේමලයා, උදය, ඒබී, වත් සමඟින්
මැණිකේ , පබලු ඇවිදින් කවි රස විඳිමින්
ලියු දේවල් නිතින් මට සතුටකි යහමින්
ඇවිදින් යන්න මේ දෙස අයෙමත් විඟහින්