Sunday 31 October 2010

මමත් බලා ඉන්නෙමි දකිනට හනික




ඇවිත් ගැයූවත් කවි ගී පද සින්දු
තවත් මොන කතාවද කඳුළකි ‍රැන්දූ
ගියත් අතැර නෑසෙන දුරකට කැන්දූ
ගයත් මෙ කවි සීපද නුඹටම ලන්දූ


දැනත් නොවේ නම් නොදනිමි යැයි කියනු
කොහෙත් බැරි දෙයකි දැනවුන් කළ කරුණු
එහෙත් බොහෝ දේ දැන දැනමත් කුළුනු
ගුණෙත්, නුඹෙ පිළිවෙතත්, සොඳුරුය පිරුණු


ඇවිත් යනු නොහේ නෑවිත් යන්න බැරී
තවත් ඒ සිහිනයේ රඳවන්න බැරී
නුඹත් තවත් හිතකට පෑහෙන්න හරී
නැවැත්විය යුතුය වෙදකම නොකර බැරී


නෙතත් කඳුළු උසුලා හදකට සුසුම
ගෙනත් දී කළේ මම වරදකි ලොකුම
තවත් පමා නැතිකල, නොපිරෙන පැතුම
පවත්වා ඇයිද?කිමිදෙනුයේ එහිම


සියත් කුල මියුරු ගීයක රස වියැක
තවත් බොහෝ ගී රස විඳිමින් දොහක
නුඹත්  දිවි කඳුළු පිසදාලන කලෙක
මමත් බලා ඉන්නෙමි දකිනට හනික


10 comments:

sahan ළියනගෙරත්ගමයා said...

නියමට ලියනවා නේ...ඔන්න කියපු විදිහටම රත්ගමය පොරොන්දුව ඉටුකරා..දිගටම එනවා

විහඟ ගීතය said...

@ර ත් ග ම යා

ඇත්තම කියන කිව් විදිහට වැඩ කරණ
සිත්තම ලෙසින් අත් දු‍ටු දේවල් ලියන
පත්තරයටත් පෙර පුවතින් බ්ලොග් මවන
රත්ගමයා යෙහෙකි මේදෙස විත් යනෙන

මැණික්(සුළඟ) said...

තවත් පමා නැතිකල, නොපිරෙන පැතුම
පවත්වා ඇයිද?කිමිදෙනුයේ එහිම
ලස්සනයි අදත් කවිය.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@මැණික්(සුළඟ)

පිපෙත් පැතුම් හද මඬලම පුරෝගෙන
සැපක් මය හිතට එය ඉ‍ටුවෙනා දින
පැවැත්මක් නොමැති කළ නොපිරෙනා පින
නැවැත්තීමකින් තොර විසදුමක් වෙන

Ravi said...

සරනා කල්හි හසරක් නොමැතිව සසර,
පෙලනා හැඟුම් වද දී සිත තුල නිතර,
කරනා මෙල්ල හැකිනම් වෙයි දනු පවර,
දියනා දෙසූ දහමද මෙය මයි මිතුර,

විහඟ ගීතය said...

@ Ravi

සිතුවිළි ක්‍රියාවම වේ නම් අනුදත්ත
මැසිවිලි එලෙසමයි හිත සඟවා ගත්ත
ළතැවිලි වුනේ පුහුදුන් අපටයි , සත්ත
සැනසිළි ගෙනෙන්නෙත් ඒ සිතමයි ඇත්ත

Anonymous said...

රොබින් කුරුල්ලෙක් දුර අත්තක ඉඳ
ගී ගයනව ඇසිලයි ආවේ
දුක් ගී තනුවක
පෙම් ගී අණුවක
රැදුන සමරු සටහන් දුටුවේ

සිත නිදහස් විට
දැනෙනා සැනසුම
රොබින් කුරුල්ලත් දැන් දන්නේ

ලැබිලා නොලැබෙන
නොලැබී ඉටු වෙන
සොඳුරු පැතුම් දහසක් දුටුවේ

දවසක හමුවෙන පැතුමක් පොදි බැඳ
මා නැවතත් එන්නට ආවේ....

ගල්මල්-Coral said...

බෝදුර පියා සලා තටු ඇත වෙහෙසිලා
හිඳිනට ලංවෙලා සැඳෑ කල එක්වෙලා
පමා නොවී වේවා ඒ පැතුම සපිරිලා
උදාවෙන තුරු එදා පියාසලමු තටු සලා

විහඟ ගීතය said...

@ වත්

ඇවිත් කියාගෙන ගී
සරමින් නිබඳ
නොයෙක් තාල ගෙන දුන්නේ
නුඹ නොවෙද
තවත් කියන්නට ගී පද
නොපිරුනද
ඇවිත් කෙදිරුමක්
ඉදහිට අසනවද

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

තනිවූ සිහිනයේ
තනිවී නැති හින්දා
පෙරමඟ බලාගෙන
ඉගිලෙන්නෙමි කැන්දා