Monday, 19 April 2010





















සඳේ සාක්කිය....


ඉස්සර වාගේම පුන්සඳ පයා 
හොරෙන් හොරෙන් විත් පැලට මගේ
නුඹලා ඉන්නා ඉසව්ව දන්නා 
බව කියලා මට ගියා නඟේ


නුඹට කියන්නට අක්කන්ඩියෙ අපි
මෝඳු වෙනා පුන්සඳ පල්ලා
අපි ගැන විස්තර කියා එන්න යැයි
හැමදාමත් හිටියා ඉල්ලා .....


බෙදා හදා ගත නොහැකි නමුත්, නුඹ
මගේ උරුම හැම පොඳි බන්දා
සඳට හොරෙන් ගෙන සැඟව ගියපු යුරු
කොහොම හිතා ගන්නද මන්දා


සඳ වතුරක් වන් නුඹෙ පෙම් විජිතය
සඳට හොරෙන් ගත්තා සත්තයි
ඒ පෙම රහසේම මමත් විඳින්නට
පෙර පින් පල දුන්නාවත් දැයි.........


හද විතරක් නොව මුලු ගේ පාලුයි
සොරු ගත් සඳ මිනි පහණ මගේ
සිතුනිද? කිසිදා කළ දේ හරි යැයි
මවකි නුඹත්.... මට කියන් නඟේ...


කෙරුවට නොව සත්තකින්ම සත්තයි
නුඹේ කඳුලු නොදැනුනා නොවේ
හරියට තවමත් බතක් ඉදෙන් නැහැ
නුඹලා හැම සිහිනොකර මෙහේ.......


හීන නැතිව ගෙවු කාලය කොපමන
උනත් අනේ මම විඳගත්තා
පේන ඉසව්වක අප්පච්චි නැති
දුකට පුතුන් හැඬු හැටි දැක්කා


මෙහෙත් එහෙමමයි නිතරම අය්යලා,
ලොකු අම්මා ගැන අසමින්නේ
නුඹලගෙ රුව ගුණ ඉව අල්ලමිනුයි
දුවලා නිතරම වැලපෙන්නේ..


ඈත් උනත් පිය සෙනෙහසෙ උරුමය
දරුවන් මයි නිති විඳ ගන්නේ
මාත් ඉතින් දෑන් ඒ ගැන සිතමින්
නුඹලා එනතුරු මයි ඉන්නේ


කෝම කියන්නද  අක්කන්ඩියෙ මම....
සතුට අපේ දරු පැටවුන්ටයි
බෝම පිනක්මය ඒ පින නුඹටයි......
ජාති ජාති අත් විඳගන්නයි.



2 comments:

wath said...

ලොකු කතන්දරයක් නේද?
සමහර අවස්ථා ගැන තේරුම් ගන්න අමාරුයි..

විහඟ ගීතය said...

සඳේ සාක්කිය.
විහඟ ගීතය කියන්නෙ රසවත් කුරුලු ගීයකට, ඉතිං කිරිල්ලියෝ දෙන්නෙක් මෙහෙම එකම ගීයක් ගයන කරනවා කුරුල්ලෙකුට අහෙන්න බැරිද? කල්පනා, උපකල්පනා අතරේ මොන මොන කතන්දර හිතන්න පුලුවන්ද? හිතෙන්න පුලුවන්ද? ඉතිං ඒකම විහග ගීයක් නොවේද?