Sunday, 2 May 2010

ලියුම....




















ලියුම....


පොකුරක් ඊමේල් ලැබුනත්  ඇතිවෙන්න
සුවඳක් නෑ  ගෙනාවේ මගෙ හිත දන්න
අකුරක් නෑර ඒ හැඩරුව බලමින්න
ලිපියක් එනතුරා. මඟ බලමින් ඉන්න


ලස්සන මුතු අකුරු එකිනෙක බඳිමින්න
විස්තර ලියා ගෙන හෙමිහිට පියමැන්න
කොච්චර  කල් ගියත්, කල් බලමින් ඉන්න
ඉස්සර තැපල් මාමේ,මෙහි විත් යන්න


විද්යුත් අකුරු බැඳ පනිවිඩ කෙටි කරමින්
සිත්ගත් නුඹට කියු දේ දැනුනිද යහමින්
සිත්පිත් නැති අනේ, නුඹ කියනා දහමින්
වත් පිලිවෙත් වුනත්, සිත තාමත් ගිලනින්


සෙනෙහස ‍රැදෙන්නේ කාලය සමඟින්ය
මඳහස ගෙනෙන්නේ හද බැඳි වදනින්ය
පියබස දකින්නේ මුතුවැල් අකුරින්ය
එමබස ලියන්නේ නුඹ, හද පතුලින්ය


විඩා නිවා පරිඝණකය නිව මින්නේ
දොඩා ළඟින් හිඳ හිස අත ගාමින්නේ
වඩා  හොදින් හිත කියවන සැනසිල්ලේ
විඩා නිවෙන ලියුමක් එවපන් කෙල්ලේ.....
.

8 comments:

SRI MANJULA said...

සැරුවත් නිතර පදවැල් මත විඩෙන් විඩේ
කොහි තිබුණේ ද ?? මේ රස විත එරී මඩේ
දුටුවෙමි හදිසියේ ගී පද විහඟ තුඩේ
සැඟවුණි පෙදෙහි රස විත හද කොනක ඉඩේ

punchisamanalee said...

අකුරින් අකුර මුතු අමුණා හැඩ කරන
වදනින් වදන සිත ගලපා දිගහරින
සැනසුම සතුට සැම පුරවා ලැබගන්න
ඇගෙ ලියමන ගැන අගෙයි ඔබගේ කවිකෙරුම

wath said...

දවස ඇරඹෙන්නේ නුඹ ගේ සුවඳ දිගේ
කටහඬ ඇසෙනවා ජංගම වයර් දිගේ
ඩෙස්ක් ටොප් එකේ රුව දිලුනත් රුවට රුවේ
මගෙ හිමි ලඟින් සිටියෝතින් නේද අගේ

නුඹෙ සිත ලඟින් ඉන්නට පිං කෙරුවාට
ලොව ඉඩ දෙයිද මා සිත රිදවයි නිතර
අද දවසේ මේ ගැනම සිතලද කොහෙද
මගෙ හිස පැලෙන්නට මෙන් කකියයි නිතර

දවසින් වැඩි කොටස මම අද නිදි කිරුවා
ඔබ ගැන සිතල සිතලා හදවත හැඬුවා
ලෝකය දවා හලු කරනට මා සිතුවා
ඒ ලෝකයේ නුඹ ඇති බව අමතක වුවා

විඩා බර නුවන් තුල මා රුව දුටුමි
කොතරම් ආද​රේදැයි මම නම් දනිමි
උකුලේ සතපවා නුඹෙ හිස පිරිමදිමි
බඳේ නෙරිය නුඹෙ නමටම මා තබමි

විහඟ ගීතය said...

@ ශ්‍රි මංජුල

සඟවා පෙදෙහි රස හා සුපුරුදු ඇල්ම
පොඟවා දෙනෙත්බොඳවී ගොස් මෙනි කැල්ම
කියවා ඊමේල් ඇස් රිදෙනා කල්ම
මොනවා වුනාදෝ කෝ දන් ඒ බැල්ම

විහඟ ගීතය said...

@ පුංචි සමනළී

හිරිහැරයක් වෙලා විද්යුත් ලිපි ගොන්න
එකසැරයක් බලන්නෙත් කළබල යෙන්ය
කළබලයක් නැතත් අත් අකුරින් දන්න
සමනළියක් වෙලාවත් ඇවිදින් යන්න

විහඟ ගීතය said...

@ වත්

ගැල් වූ සුවඳ නුඹෙ අත් අකුරක ‍රැඳුනු
දැල් වූ දෙහද එක අරමුනකම බැඳුනු
මුල් වූ අපේ සිතිවිළි හුයකට ඇමුනූ
කල් ගත වුවත් එය මගේ නමටම එවනු

නුඹේ බසින් ගත සිත සුවපත් කෙරුණු
ඉබේ කඳුළකට දෑසෙහි ඉඩ නොදෙනු
සබේ කුමක් කීවත් කෙරුවත් දරුණු
නුඹේ ළඟ තවත් හද කට ඉඩනොදෙනු

රතු එළි දැල්වෙලා මංපෙත් වසාගෙන
පතුරන අභියෝග කඩ ඉම් කඩාගෙන
වතු සුදු මලත්, මල් සෙනෙහෙත් හොවාගෙන
මතු හෙට දිනත් නුඹ මය හිත හදාදෙන

පාවී සිසිල් සුළඟක සුවදක් ගේන
පේවී එකම සිහිනෙක අරුතක් පාන
රෑ වී මගෙ ලොවට, අරුනෝදය ගේන
දේවී නුඹය මට හිරු, තරු, හදපාන.

SRI MANJULA said...

දන්නා කැල්ම දක්නට ඇස් දෙකේ පොරේ
පෙන්වා පෙමක සිරි හද දොර කවුලු හැරේ
නින්නාදයෙන් පෙම් ගී දෙසවනම පිරේ
දැන් දැන් දැනේ මේ පද වැල් ගෙතෙන හොරේ!!!

විහඟ ගීතය said...

@ ශ්‍රි මංජුල

සැන්දෑ හිනාවක සෙනෙහස බැඳ ගත්ත
මුන්දෑ කොහේ දෝ මගේ සිත ඇරගත්ත
වැන්දා ඕං දන්නව නම් මෙහි ඇත්ත
දන්නෑ වගේ ඉනු ඇස් කන් වහ ගත්ත