Tuesday, 18 May 2010

නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති







නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති....


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනු
කෝප වූ රජුන් ටත් අවනත  නොවුනූ
මාව වත්  මටත් තෙරුම් ගත නොහෙනු
මාගේ සිත සොරා ගත්තේ  ඇයි කියනු!


දේශ දේශයෙන් විත් ගොඩ බසිමින්න
රහස රහස කන් මතුලා  කොඳුරන්න
දෑස දෑස සිත්සේ නිති දැක ගන්න
වෙහෙස  වෙහෙස විඳි අපේ සිත් මයි දන්න


මංමුලා නොවුන සිහිනයේ කිමිදෙමින
ලංවෙලා නුඹට පෙම් කවි පබඳමින
හැංගිලා බැඳුන සිත් මල් පුබුඳු වන
නිල්වලා ගඟට සඳ පෑවුවා මෙන


මලේ මලේ මල් වරුනේ නිමක් නැති
ඇලේ දොලේ පිපිලත් දු‍ටු කෙනක් නැති
විලේ විල්තෙරට කොක්කුන් දබර වෙති
නුඹේ පැලේ මට පොඩි ඉඩ කඩක් ඇති


සිතූ තැනක නැවතුන හදවත පෙමිනී
පැතූ පැතුම් මල් පූදයි හෙට ඉතිනී
ගෙතූ සිත්තමෙහි පැහයට හිත බෑඳුනී
පැතූ නුඹටමය, මේ මල් මිට නිතිනී.





2 comments:

wath said...

මලේ සුවඳ සිවුසිය ගවු ගෙනේය
නුඹේ සුවඳ ඇය ගත දැවටුනේය
මොහොතින් මොහොත නුඹ හිත කැළඹුනේය
නිදිගත් හිතක් කවුරුන් ඇහැරැවේද

මටත් මලක් දෙනාවනම් පිළිගනිමි
නැතැත් සිතේ තරහක් නම් නොම රැදුනි
සිතත් නුඹේ එළි වූ හිරැ කිරණ මෙනී
ඇයත් නුඹත් අහසේ සඳු තරු ලෙසිනි

කොහේ ගියත් කරදරයක් නොම වෙන්නයි
මටත් වඩා කල් නුඹ ජීවත් වෙන්නයි
ආදරයෙන් සිත් තැවුලක් නොම වෙන්නයි
මගේ පැතුම නුඹ හා ඇය එක්වෙන්නයි

මම
෴වත්෴

විහඟ ගීතය said...

@ වත්

දිනක් දෙකක් නොව මුලු සසරෙම පැමින
නෙතක් ඉම සොයයි නුඹෙ රුව නෙත් ගැටෙන
කොතෙක් කල් ගියත් අත පතමින් ‍රැදෙන
කෙනක් කොහේ හෝ ඉන්නා බව හැගෙන

ගසුත් වැලුත් දළු ලා මල් පිපෙන මෙනී
අළුත් නමුත් සෙනෙහස හද සසල විනි
හිරුත් සඳුත් එකවර අහසෙහි ‍රැදිනී
නුඹත් මමත් හැර වෙන කවුරුද ඉතිනී

වතින් සපිරි කෝමල මුඳු සිනහ ළඟ
හිතින් උතුරලා යද්දෙන් සෙනෙහෙ ගඟ
අතින් අත සපත කොට සෙනෙහසක වග
නෙතින් කදුළු නෙසැලේ නුඹේ සිනා ළඟ