Saturday 29 May 2010

සමනළ සිහිනයක


සමනළ සිහිනයක නුඹ ආවා මතකයි
මඳනල පවා ගෙන ආවේ ඒ සුවදයි
විදහල ප්‍රේමයේ  අනුහස නම් පුදුමයි
සමනළ සිහිනයේ තාමත් නුඹ කොතනයි

නෙතු සපිරුන  තරම් හිත නොපිරුනාද?
පැතුමන් සපිරි,හුදු හැඟුමන් වුනාද?
උතුරා  ගැලූ සෙනෙහස වියළුනාද?
මතු සසරේ කතාවට මක් වුනාද?

නොතරම් නොවූවත් කල්බැලූ  පෙමට අපේ
සැමරුම් අදත් මඟ තොට දැක පොළවේ හැපේ
නුඹ නම් එමඟ හැරදා ගොස් නො එන කපේ
කොතරම් සුන්දරද ඒ මල් තවම පිපේ

නොදනිමි කුමක් දෝ මා දොස තවම නොකී
නොකියමි දොසක් නුඹ ගත් මඟ හරිය සකී
වැළපෙමි කියා කීවත්  නුඹ මා නොදකී
සිටිනෙමි මමත් නොමදී හදවතට ඉකී

මලකට දැනෙන දුක  බඹරා නොම දන්න
පසෙකට ලා තවත් මල කට පිය මැන්න
බඹරුට මල්ය , මල කට  බඹරෙකු වන්න
හිතකට  දුකක්  නොම දෙන බඹරෙකු එන්න

ගතත් සිතත් වෙහෙසයි පෙම් බස් දොඩලා
ඇසුත් අතුත් අපුලයි බඹරුන් ‍රැකලා
තවත් ඇවිත් යන හිතකින් නොම ‍රැඳිලා
මමත් නුඹත් හඳුනයි දෝ සිත් සැදිලා

සමනළ සිහිනයම හිත අද්දර තබමි
සමකුළ බඹරකුට මුලු හදවත පුදමි
බැමිතල හකුලුවා  මඟ බලමින් හිදිමි
හිමිකල මට උරුම  ඔහු වෙනුවෙන් තබමි



10 comments:

මාතලන් said...

අපොයි කොලූ අති ප්‍රභල බූට් පාරක් කා ඇති බව පෙනේ....

ප්‍රේමය උසයි... සුසුම් නම් විසයි.....

Anonymous said...

මොකද විහඟ ගීතය අද විස්සෝප වෙලා. විස්සෝපයෙන් උනත් පද ටික ලස්සනට ගොනු කරල තියෙනව.

Anonymous said...

සිහිනයේ සුවඳ නුඹෙ සිත තුළ රැදුන වග
අමතක කරමු සිහිනයෙ නුඹ සිටිය වග
පරණය මතක දියකරදා අතර මග
නුඹ සමඟින් මා යන්නේ නැවුම් මග

කොයි දේ වන්නෙ අපෙ හොඳට ලු කියන්නේ
පමා වෙලයි මිනිසුන් ලොව දකින්නේ
දෙ​​නෛත් පුරා ඉනු කඳුළයි පිසින්නේ
නුඹේ ලොවට සඳ පෑවු ලෙසින් නේ

හිරු ගෙ ලොවේ නුඹ දැවුනා කවුරු දනී
මල් පිපිලා පරව ගියා බඹරු දනී
නුඹේ ලොවට පෑයු සඳු කවුරු දනී
ලොවක් නොදැන වුන්නත් එය නුඹම දනී

අතීතයේ දුක් ගැනවිලි මැකෙන්නයි
නැවුම් දිනක් නුඹ හා ගොඩනගන්නයි
තැවුල් මුදා හල සිතකින් සිටින්නයි
මගේ පැතුම නුඹ සතුටින් සිටින්නයි

විහඟ ගීතය said...

@ මාතලන්
ලබූ දෙයට වැඩියෙන් නොලැබුන දේය
හිතෙ ඉතිං හැමදාමත් දුක දේය
සතා සිවුපාවටත් එය වැටහේය
එකම සතුට දුක වෙනුවෙන් දුක් වීය

විහඟ ගීතය said...

@isimbuwa

විහඟුන් රස ගීත සේම
දුක් ගීතත් ගයනවා
පුහුදුන් මිනිසුන්ට සේම
දුකත් සැපත් දැනෙනවා

විහඟ ගීතය said...

@ වත්

පැටලුනු සිහිනයේ අත්විදවූ නපුර
වටලනු නොදී ඉන්, සිත ගනුයෙන් උදුර
පිටවෙනු නම් ඉතින් මා තනි කර මෙතෙර
සැඟවෙනු එපා සිහිනෙන් වත් මා සොඳුර

තිස්ස දොඩන්ගොඩ said...

කොහොමද අප්පා මේ එක දිගට රස වැහෙන කව් ගොතන්නේ....?
හුරුවද...?
සිතිවිලි වල තෙරපුමද...?

මම said...

ප්‍රේමයනම් ලොව සියල්ල විදිනු ඇති
බොහො දෙනෙක් ටික කලකින් හඩනු ඇති
නමුත් සොයුරු විහගය දැන් නුඔට ඇතී
මෙ කාලය නුඔ විදපන් සතුටෙ ඒතී...

(අනේ මේ විදපන් කිව්වෙ තරහට එහෙම නෙවෙයි ඕන්..කවියට ගැලපෙන්න ඕන නිසයි එහෙම දැම්මේ)

විහඟ ගීතය said...

@ තිස්ස
හරකොට ලියු දෑ සිතුවිලි අතර සිට
බැර වෙන බව දනිමි ගිනුමට නොසිතුවට
තෙරපුම නම් තමයි අලුතින් ලියන විට
පෙරපර ගැලපිම නුඹටයි, සතුට මට

විහඟ ගීතය said...

@ මම

බොඳවුන සිහින පණ පොවනා අය නිතර
විඳවන මෙන්ම විඳිනා අය අප අතර
කොපමන දැක ඇද්ද හඬනා සිත් නිතර
දුක්වෙන විහඟ ගී ඒ වෙනුවෙනි මතුර