Friday, 25 June 2010

මිහින්තලේදී........



එඩියෙන් බිම දමා රුපුසෙන් ජාලාව
මැඩියෙන් රටට වින කරවූ මායාව
පඬියන්  කොහෙද අද? අපි හට බෑ කීව
කොඩියෙන් පෙනේ රට එක්සේසත් වූව


අඟේ ඉදන් කන හපනා අපේ අය
යුගේ යුගේ ඇතිවී නැතිවෙලා ගිය
රඟේ දුටිමි, කළ කී දෑ නොදෝමය
මගේ රට දැයත්, දහමත් අපේමය


යාමයේ සතුරු බළ ඇනි බිඳදාන
ජීවයේ  අරුණු රටකට ගෙන ඒන
මානයේ බලය ගන්නට දත පාන
හීනයේ ‍රැදුනු ‍රැළකට වී බාන


බැට වැදිච්ච අමනුන් ‍රැළ හා සාම
වැට බැදිච්ච  කළදී, එක ගෙයි කැම
වට නොවිච්ච කළ දු‍ටු සිහිනයේ සේම
කට කැඩිච්ච සුදුකොඩි පාවාදීම


උදා ගිරෙන් ‍රැස් දහරා ඇඳුනාය
නිදා සිටිය දහසක් සිත් හැදුනාය
බදා ගිනි අවිත් මුදු සිත් තැළුනාය
මෙදා ඔවුන්ටත් ජය මංඟල ගීය


වෙලාවෙදි නපුර විත් ගම් බිලි ගද්දී
නලා පිඹ දුවන්නට උපදෙස් දෙද්දී
මළා මෙන් දැයට වින කටිමින් පැද්දී
බලා ගෙන හිටපු අය එකමුතු වෙද්දී


වසවත්තියන් ලේ රස බැලු පින් බිමට
නස්පැත්තියක් ආයෙත් නම් නොමවෙන්ට
පුදපෙත් ගෙනෙනෙ අය සිරිමා බෝඳුන්ට
බසවක්කුලම පේවි ඇත පිළිගන්ට


පොසොන් සඳ හිනාවි අම්බස්තලට
ගෙනෙන් නේ පහන්සුව  මුලු ලක්දිවට
පිනෙන් ඒ උතුම් දරුවන් ලත් දැයට
ඉතින් වාසනාවන් මේ පින් බිමට......





Thursday, 24 June 2010

ඉරිදා දහම් පාසල්




ඉරිදා දහම් පාසල්


හෙටින් අමාවක එළැබී  වසන තුරු
ගෙයින් පිටට  ඉරිදා යනව නම් බොරු
සුපින්වත් ළමෝ වෙමු දහමටම හුරු
ඉතින් ආයුබෝවන් සියලුම මිතුරු


කඩක් පිලක් මුල්ලක් හෝ අත නෑර
ඉඩක් ලදත් හමුවනු බොරු මේපාර
කුමක් හෝ කියා ගෙදරට වී සූර
පවක්  කරණු බැහ ඉරිදට මේ පාර


සතර අගතියෙන් මිදෙනට මග සොයන
නිතර දහමටම නැණ ඇස මෙහෙයවන
හතර පෝයටම  සිල් ගත්තා නොවන
විතර මුත් දහම් පාසැලටම ඇදෙන


මාර සෙනඟ අවි ඔසවා බැන වදින
වීරයින් වෙන්න ලාබෙට පැන නටන
සූරයිනි නිතර බොරදිය මත යැපෙන
කාරණාව නුඹලගෙ අතටම පැමින


ලියන්නට  පාර පිරෙනා තුරු යසට
යැපෙන්නට තවත් කලකට ලෙස නිවට
අඬන්නට  හිටපු නුඹලාගෙම ඇහට
අඬන්නට ඉතිං දැන් අනිනුයෙ කුමට


සිතුම් පැතුම් රටකට නිවහල් කරණු
උතුම් පරපුරක් මතුවට බිහි කරණු
පැතුම් මල් පිපෙන හෙට දවසෙදි තුරුණු
දහම් දිවයිනට මං පෙත එළි කරණු




Sunday, 20 June 2010

විපිළිසර වී..




ඇවිත් ගියත් යළි නැවතත් එමිය කියා
පුවත් නොදැන සඳ හිරු නම් ඇවිත් ගියා
නුඹත් තවත් කඳුලක් නෙතු අගට තියා
ගියත්, සොඳුරු සිහිනෙම මම දෙනෙත් පියා


"පිපි මල් සැවොම පරවී යන නමුඳු ලොවේ
මල් පිපෙනුයේ පරවී යන්නටම නොවේ"
යනුවෙන් දෑත් බැඳුනත් ලෙස පුරුදු භවේ
ගිනිගත් මසිත තවමත් නුඹේ නමින් දැවේ


අරුමය කියා දී දිවියේ ළඟින් හිඳ
උරුමය නුඹම විය හැමදා නුවන් බැඳ
පිළියම නොදත්තෙන්, ‍රැකවල් බිඳින ලද
කරුණුය  විපිළිසර මගේ හිත මඩින ලඳ


බෝසත් ගුණ දුටින් තැන්පත් රුව ගාව
පෝසත් නොවින සිතුවිළි විසිරුනි පාව
පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ  වෙනමම ලෝකෙක යාව


පාවෙන සුළඟකත් සුවඳම පතන්නෙමි
නැහෙන දුරක සිටියත් මඟ බලන්නෙමී
වෑහෙන කඳුළු සඟවා දුක දරන්නෙමි
පේවෙන මසිත නුඹ වෙනුවෙන් තබන්නෙමී

Saturday, 12 June 2010

කුඩේ තියාගෙන

කුඩේ තියාගෙන




තුඩෙන් තුඩ තියා කී ගී නිමක් නැතී
හැඩෙන් හැඩ බලා කොපමන කලක් වෙතී
විඩෙන් විඩ මෙලෙස හමුවී පලක් නැතී
කුඩෙන් මුවා වෙන්නට නුඹේ හිතක් නැතී


සියල් සපිරි පතිකුල මුනිවත බිඳින
විසල් ලොවක  දෙදෙනෙකු එක්වී බැ‍ඳෙන
විකල් නොවී පෙරමඟ අරමුන හැඳින
රුකුල් වෙනු මැනේ අත අල්ලන් ගමන


හඬේ බාලවී දොම්නස හිත ඇඳුන
මඩේ හිටියා සේ අරමුනකින් මිඳුන
හැඩේ නුඹ මසිත සහසුද්දෙන් හැඳින
කුඩේ තියාගෙන අපි වැස්සේ තෙමෙන

Thursday, 10 June 2010

ළිඳ ලඟ


Wednesday, 9 June 2010

කාලෝ අයංතේ




කාලෝ අයංතේ
සිනා සපිරි  මුව මඬලට එළිය ගෙනා
නුඹේ පෙරමඟට පාවඩ අතුරවනා
නැවුම් අරුනැල්ලකට ඉඩ සලසවනා
දිනක් වේද? හෙට අපගේමයි කියනා


බුදුන් දෙවියනුත් විකුනාගෙන බුදින
දෙමාපියන් වුව රුපියල් සත කරණ
දුවා දරුවනට අඩු ලංසුව තබන
මහා ධර්ම ද්වීපය මේ යැයි කියන


මහා නගර මැද වග වලසුන් පිරුණ
විසල් පුද බිමෙත් නැති විය හව්හරණ
ගෙයින් පිට වෙලා යළි ගෙදරට පැමින
නුඹේ හඬ ඇහෙන තුරු කොහෙදෝ නිවන.

Monday, 7 June 2010

Friday, 4 June 2010


හිරුට මුවාවී ඉගිලීගෙන  යන්න
නුඹට වෙහෙස බව  මාගේ සිත දන්න
කුමට දෝ ඉතින් හිඳ තව ළතවන්න
සඳුට හොරන් මම එමි නුඹ ගෙනියන්න

මල වට ‍රැගුම් පෑ බඹරිඳු  නෑ ආවේ
ගෙල වට මල් මාල  පළඳනවයි කීවේ
කලකට පසුව  කීදෙය අමතක වූවේ
මුතු කැට කඳුළු පමනයි තනියට ආවේ

හිතක් ළඟ හිතක් බැඳ දෙවමින් පිළින
රුවක් විය නුඹත් මගේ සිතටම සැදුන
දුකක් නොම දෙමින් ඒ හිතටම බැඳුන
කවක් ලෙස නොකී අලුතෙන් පද බදින

පීදුනු පැතුම් බොල් සුළඟට පා කරලා
හේදූනු සිතුවමෙන් හිත නිදහස් කරලා
ඒ ඳුනු  නැවුම් සිතුවිළි එක්තැන් කරලා
දේදුනු  ආයෙමත් සිත් අහසෙහි පිපිලා

සිතත් ගතත් සිත් ගත් සිතටම බැඳුන
නුඹත් මමත් වෙත් එක සිහිනෙම දකින
ඇවිත් තවත්  කල් යල් බලනුයේ කුමන
හෙටත් අදත් මෙන් විය යුතු නැහැ ඉතින.

මුකුළිත මල්ය, න‍ටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
නුඹසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
තනිනැත ඉතිං , නුඹටත් තනි නැති වාය