හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී
රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී
නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා
දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණාටුව හද දොර හරී
පියාඹන විහඟුන් රැහේ
යළිඳු එයි රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත් මෙහේ
බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා