Monday, 25 October 2010

පමාවූ විවාහ සංවත්සර කවිය



පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ