Saturday, 20 November 2010

දේදුනු පාට අතහරිමින්


සීතළ දුරුත්තට කලියෙන්
ඉල් මහ සීතළේ ගැහෙමින්
ගිලිහුන වසන්තය සමඟින්
උණුසුම සොයයි සිත තරහින්

පීඳුනු සිහිනයට රහසින්
ඈඳුනු හිතට කිති කවමින්
දේදුනු පාට අතරිමින්
කලු සුදු ලොවක කල් බලමින්

ගීතයේ තනුව හැර, ශ්‍රැතියෙන්
දීගයේ බැඳුනු කළ කලියෙන්
ඊතළ නොවිද්ද සඳ, මලවින්
සීතළ දැනේද නෙතු කදුළෙන්

රූසිරි බලා එබී හො‍රැහින්
ආසිරි ගීත තළුමරමින්
පැහැසර මැකී, මලානික මෙන්
දොරහැර දමා.... මෙමා තනියෙන්.....


Wednesday, 17 November 2010

පදවි සම්ප්‍රාප්ති කවි




කවුරු නොහොඳ දැක්කත්  සපුමල් කුමරූ
පහල නොවිනි නම් දැක ගත හැක බහුරූ
විහිළු කාරයින් අඩු නැති කළ මිතුරූ
වීර විකුම් පෙළහර කියනුද කවුරූ


ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී
කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී
ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී
දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වො‍රැඳී


ගස්සා බිම දමා මරුවැල් ඇද තිබුනූ
රස්සා කරපු රට, ඒ පින අත් විඳිනූ
නිස්කාරනේටම හැමදාමත් බැඳුනූ
පිස්සන් ටික කෙරෙත් දක්වනු මෙත් කුළුනු!



ජාතිය දේශයක් තුල මඟ නොම හැදින
භීතිය ගෙනා යුගවල සිට දැන හැඳින
නීතිය රකින මංපෙත් වල හිල් හැදින
නෑසිය පිරිවරට බෙදුවානම්, නොමින



විල් බොර දියේ දිය බුං ගසමින් නටන
පිල් විදහා නටත්, අමු හෙළුවම පෙනින
කල් යල් බලන බක තපසුන් හට ලොබින
පල් හොරුනුත් හැඳින ,තිත තබමුද ඉතින


ආ මඟ සුවපහසු නැත, යන මඟ දරුණූ
පෑ පෙළහර වගේ තව එක්කර කරුණූ
පා මෙත් ගුණ නිබඳ, සතුරාටත් කිපුනූ
මේ උත්සව දිනේ උන් මුදවා හරිණූ


නිරිඳුන් වුනසේම,පුහුදුන් මිනිසුන්නේ
නිතැතින් බොහෝ ගුණ දම් වුව ගිලිහෙන්නේ
එතෙකින් කරපු හොදනම් නැත අඩුවෙන්නේ
මැතිඳුන් ඔබටමයි"රජකම" ගැලපෙන්නේ.





Tuesday, 16 November 2010

දිග සුසුමකට.....




දිග සුසුමකට බර දී නිදි නැති යාමේ
වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ
නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ
මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ


රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ
මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ
ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ
විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ


ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ
විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ
කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ
වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ


නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම
පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම
ආයෙත් කථා නොකරණ බව කීවාම
නෑ තෙත් වුනේ නෙත,හිත අඬනව තාම....

Saturday, 13 November 2010

ගංවතුර




පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු
යන එන මං නොදැන නුවරම යට කෙරුණු
කොහෙ ‍රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ
මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු


ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා
‍රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා
උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා
මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා


බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන
පර්චස් දහය පහලොවකට බෙදාගෙන
අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන
හිටියත් වතුර විත් එකමුතු විලාසෙන


කුළ ගොත් පාට හෝ බෙදුමක වපසරිය
වැදහොත් ඒ බලය සෙල්ලමකට සරිය
සවිමත් කරන්නට රට නංවන බලය
කවුරුත් ගංවතුර මෙන් එක්විය යුතුය


යුග යුග ගනන්  පීඩා විඳිමින ගෙවුන
ඒ කල දසාවට දොර අගුලක් තබන
නැති දේ ගැනම දොඩමින්  කල් යල් හරින
මිතුරනි පෙරට යමු ගංවතුරක් ලෙසින.


ඉල් මහේ කඳුළු

මඟ වරදවාගෙන
හැත්තෑ එකේදී හා
අසූ අට, අසූ නමයදී
සුසුම් වැල් එක්වීය සුළඟට
තබා මහා හිස්තැනක්....
.......................................
එකවරක් නොව
දෙවරක්ම.. 
ඇයි වැරදුනේ මඟ.....


ඉන් අනතුරුව
යෂ්ටිය අතට ගත්
පෙරගමන් කරුවෝද 
මඟ වරද්දාගති.............
අනූ හතරේ හා
දෙදහස් පහේදී
යන එන මං නොදැන
හතර බීරී කථා කියමින
එකවරක් නොව
දෙවරක්ම.. 


කියාදෙන්නට මඟ 
මොවුනට
කිසිවෙක් නැත අහලක
කියා දුන්නද... 
කෙසේ නම් අසනුද?
අඳ බාල වූ කල
නඩේ මුල....


මස් රාත්තලම ඉල්ලන
"ෂ්යිලොක්" ලා මෙන
පුරුද්දට වාගේ... 
වටරවුමට ම කො‍ටුවෙන
ආරේ ගුණම සුරකින
සිල්ලර වාසියට
සරසවි පවා අවුලන


මේ සියළු දුක් උහුලන....
ස්වභව ධර්මය..
ඉල්මහ නෙතින් හෙළු 
කඳුළුද?......
මේ දෙගොඩතලා යන්නේ..

Thursday, 11 November 2010

නිහඬ බව




දු‍ටු සිහිනෙහි මුලා
මම මෙහි පැටලිලා
නුඹ ඉන් ගලවනා
මඟක් සොයමි මනා


නෙතින් සිනහ වෙලා
සිතින් තරහ වුනා
නෝක්කාඩු සිතින්
බලන්නේද ඉතින්


සොඳුරු බවට නුඹේ
කවුරුත් ලොබ බඳී
බැඳි බැමි සිහි නොවී
සිතුවිළි කළ හදී


පිපී දිලෙන නමුත්
මලේ සොඳුරු බවක්
ගෙවත්තෙදී නොවේ
වැටෙන් එහා තරම්


පුවත් නොදැන යථා
නුඹත් දුකිනි මෙදා
ඇතුන්ලවත් ඇදා
දෙනු නුවනක්! සදා


නිහඬ බවත් මහා
හඬක්ය කලබනා
හිඩැස හදෙහි තැනූ
නොදත්ය කාරණා  .......



මහත්තුනි එදත් මෙලෙසයි රඟපෑම



අළුත් ජනකවි 6 මෙතනින් කියවන්න
ඇවිත් බලේ තිබු කාලේ කලසේම
අඩුත් නැතිව මුන් බේරාගයි ජාම
අමුත්තක් වුනා රට බේරා දීම
මහත්තුනි එදත් මෙලෙසයි රඟපෑම.


හැත්තෑ හතේදී මුළු රටෙහිම බලය
ගත්තෙන් ගසාගෙන  මතවාදෙට ඇණය
පිස්සන්ගෙන් නොවිනි අඩු නිරතුරූ බණය
බස්සෝ වගේමයි එදවස ඔය නඩය


පෙන්නා හයෙන් පහ බලයක උඩගුකම
ගෙන්නාගෙන මිතුරු මැරයින් අතැර හැම
සන්නාහ සන්නද්ව ජන බලයේ ඉම
සුන්නද්දූලි කළයුරු අමතකව නොම


රුපියල් දහය ඉල්ලාගෙන වැඩ වැරුණු
ගොල්ලන් අසූවෙදි එළියට  ඇද දැමුනු
සෙල්ලමකට ඇරන් සිත් පිත් නැති කුලුනු
ඉල්ලයි දහ දහක් රෙදි ඇදලද බලනූ


කළගෙඩි ලාම්පුව ගෙන ජනමතය ඉරා
ලොක්කා මැතිවරණ  සිතියම ඉවත් කොරා
මක්කා කීව මුත් හොදහිත දෙකට ඉරා
දැක්කද පුස්තකාලය අළු ගොඩක් කොරා


ඇණ ගසමින් සිසුන් සරසවි වල හිටපු
මහ මඟ ගිනිතියා, ගඟ දිය පා කරපු
යුගයක මතකයන් මැතක අත් විදපු
අමතක වෙලාවද  අන්තරයක්  මරපු


අඟ මුල හොයා ගනු බැරිවීමේන් දුරුව
ජේවීපියට,  යූඑන්පියමයි කරුව
කඩමින් අ‍ටුව හදවන්නටනම් පු‍ටුව
කැස කවනා අයව ඇත  හැදිනිය යුතුව


අළුත් ජනකවි 5 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 4 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 3 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 2 මෙතනින් කියවන්න
අළුත් ජනකවි 1 මෙතනින් කියවන්න


Tuesday, 9 November 2010

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී




පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
සුළු වරදකට හිත පොඩ්ඩක් රිදේවී
මහවැස්සෙදී  හිත රිඳිලා අඬාවී

ආගිය කථා සිහිවී දුක හිතේවී
ඒ ගැන යළි යළිත් සිහියට නැගේවී
පිපි මල් නම් දිලී අතුඅග ‍රැඳේවී
නොපිපෙන මලුත් ඒ අතරෙම තියේවී

රළ හඬ නගා ගෙන වෙරළේ හැපේවී
ඉම නොදකිනා රළ ඉකිබිඳ හඬාවී
සුවදේ සිනාවක සැනසිළි ‍රැඳේවී
දුක නම් ඉතින් නෙත කඳුලක් සදාවී

නුඹටද දුකකි ,ඒ දුක මට දැනේවී
කවුරුන් හෝ දිනෙක ඔය හිත හදාවී
නොකෙරෙන දීගයේ හෙවනැළි ඇදේ වී
පිටමං වෙන කරුණු  එකිනෙක සැදේවී

නිල්වලා ගඟත් හැඩවී ගලාවී
මංමුලා නොවී අරමුන සොයාවී
ලංවෙලා ඉන්න හිතකුත් ලැබේවී
කල්බලා පුවත් මාහට කියාවී

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
මල් සුපිපෙනා පොද වැස්සට මුවාවී
කොහෙ දිලුනත් සුවඳ මසිතට දැනේවී

Wednesday, 3 November 2010

අරගලය




දිසාපාමොක් ලාට බැට දෙමු
ඇමතිවරුනට හූ කියා
තක්ෂලා දොරවල්  බිඳන්  යමු
හරක් ‍රැළ සේ කැළඹිලා
උගත් ගුණදම් පාසැලේදී
සරසවියේ දොර ළඟ තියා
හිනස්සමු මුළුරටම, හඬවමු,
දෙමව්පියවරු ඇනතියා


ඉගෙන ගන්නැති, ඉගෙනගන්නට
කැමැත්තක් නැති දෙ‍ටු දයා
වලක්වා සිසු කැළක හෙට දින
පෝස්ටරයක් අත තියා
ගනන් යුග යුග කියූ දෙබසම
සටන් පාඨයකට ගයා
බලන් පෙරහැර වසාගෙන දොර
අතගාමු අං හොය හොයා.....

Monday, 1 November 2010

කැලෑ නීතියට නම් අප නොයා යුත



තලා පෙලා සරසවි කැකුළු විකසිත
පුරා වසර හතළිහ සපිරෙමින් එත
නරා වල ඉහින්නට ඉල් මහේ මිත
කැලෑ නීතියට නම් අප නොයා යුත


යුග යුග ගනන් නෙක නෙක උවදුරු විඳින
දැක දැක එවන් යුගයන් වෙත යළි ඇදෙන
මඟ එළි කරන්නට බල ලෝභෙහි බැඳුන
ඉඟියක් වත් නොදී රට ‍රැකගමු කළණ


ඌරන් කැකුණ තලමින් ඌරන් විලස
හාරන් මඩම උන් ගොඩ ගන්නේ කෙලෙස
තේරෙන්නැති නමුත් ඔ‍ටු ‍රැළකට පවස
බේරන්නේ කෙලෙස දරුවන් එක විලස


අතකින් අන්තරේ,අතකින් සරසවිය
විභාගේ ළඟය ඒකට කඩිමුඩිය
එහෙයියන් නොවීමෙන් ගැලවෙනු බැරිය
මරණ භය තියාගෙන පැණි කනු වැනිය


කවුරුන් රට කළත් හැම විටම දෙස් දෙන
පිස්සන් අතලොසක් ඇති රටක පිස්සෙන
දරුවන් යළිත් ඒ මරු කටට දක්කන
කෙරුමන් හැදින වලකමු ගන දැක්මෙන.