Monday, 30 August 2010

ශක්තිය දී රජුට සතුරන් ගෙට ගත්තෝ.....අළුත් ජනකවි 4


අළුත් ජනකවි 3

රජතුමා බොහොම ඉහලින් දක්කනවා
මංඩලේ කචල් තිබුනත් මක්වෙනවා
සිරිකොතේ ඉන්න කාළය දික් වෙනවා
මං හිතේ ලෙසට තොප්පිය පළදිනවා

සීනුව රටවටේ ඇරගෙන කැරකිල්ල
මාරුව පෙනි පෙනී හිතයට ළතැවිල්ල
වීරිය පාරමී වැඩුවට ‍රැවටිල්ල
කාරිය කෙරුණු පසු කාගෙත් ගෙරවිල්ල

පැන පැන ඇවිත් පාරම්බාමින් වස්සා
අණ වින කලෙන් රජුටත් පෙන්නා පස්සා
කළ ගුණ නොදත් උන්දැල දඟ ගෙට බස්සා
යන යන අතට ගහපිය දැන් උලුවස්සා

හැත්තෑ හතේ බලයට ඇවිදින් බිරුවා
විජ්ජා පෙන්නමින් කළගෙඩි එළි බැලුවා
නිස්කාරණෙ බලය එකතැනකට බෙදුවා
මුත්තා පල්ලා කීවත් අයේ ගනු බැරිවා

යුක්තිය හා සමය නිරතුරු ‍රැක ගත්තෝ
සොත්තී උපාලිට  සැලියුට් ගැසු ඇත්තෝ
ශක්තිය දී රජුට  සතුරන් ගෙට ගත්තෝ
භක්තිය පාමු කේ.පී ටත් වී ගැත්තෝ

හානා හීය බැරි බව අඬහැරෙන් දැනේ
නානා එන්නේ ඇයි කියලා ඉවෙන් පෙනේ
නේනා එවුන් ගැන  ගයමින් මොටද ගුණේ
වීනා ගහමු අපි එකසිය පනස් තුනේ

Sunday, 29 August 2010

දුරුව ගිය වසන්තය


බැල්මෙනා  මසිත හැඳින බොහො දුරක් ඇවිත්
කල්පනා  ලොවක රඳවමින් කොනක් තවත්
මල්සිනා  නුඹට පමනකිය  කියා ගියත්
හැල්මෙනා  දුවන හිතක් බැඳ තබනු නොවෙත්

පියඹලා  වසන්තයට බොහොම කල් ඇරන්
ගියවෙලාවේ වසන්තයත් මා දමා ගිහින්
නියඟලා  මලෙක රුසිරු දෙනෙත රවටමින්
වියැකිලා සෙනෙහේ  කඳුළු වලට හැරවෙමින්

දිවිතුරා හඬන්නට තරම් නොවේ වුවත්
අවිදරාණ සනුහරේම අපිට එරෙහි වෙත්
කවිකරාණ  කඳුළු බිංඳු නුඹෙ නමට අයත්
පිවිතුරා  වූ පෙම සුමිතුරු නොවී වන වදිත් 

කිමවුනේ! ගියා ඉගිල සියොත් කැළ සොයන්
මම අනේ තවම නපුරු සිහිනයෙම බලන්
විමසුනේ නැතිද  නැවත එන නො එන ගමන්
හැමදිනේ ම පුරුදු පරණ සිහිනයෙම ‍රැදෙන්.

Saturday, 28 August 2010

කඳුළු සීතළ වැඩියි......



පොබයනා නෙතු සිතු ද පෑහුනේ
නුඹ මෙනා ඈ නොවෙද හිනැහුනේ
සිඹිමිනා සඳ තරුද පෑ සෙනේ
නුබ ගැබේ කොයි දෙසද සැඟවුනේ


දුක කියාගෙන මෙදස ආ දිනේ
දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවා දැමුවත් පා සෙනේ
ඒ දුකම ඇයි නුඹට පෑහුනේ


දු‍ටුව සිහිනයෙම නිරතුරු බැඳී
කො‍ටුවෙලා ඉන්න සිතුවත්  මිදී
පි‍ටුපපා යන්න කරුණුත් යෙදී
දු‍ටු සිහිනයම යළිත් ඉකිබිඳී


හඬනු බැහ කඳුළු සීතළ වැඩියි
‍රැ‍ඳෙනු කෙලෙසකද සිහිනය බි‍ඳෙයි
මි‍ඳෙනු නොහැකිය නමුත් යායුතුයි
බිඳුනු හදවත් පවා පෑහෙතෙයි........

Thursday, 26 August 2010

නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්..... අළුත් ජනකවි 3.



අනේ දෙවියනේ මට වුන වියෝයා
ගුණේ නැති එවුන් මා හැර ගියෝයා
තැනේ ලෙසට ඇණ ගසමින් ‍රැකේයා
පිනේ මහිම! නායක කම මගේයා


අඩු පාඩු නම් ඇත තව නොකෙරුන හරියෙත්
හඩු දේශපාලන වැඩ පිළිවෙල නොමවෙත්
ගුඩු ගහනා එවුන් බැදගෙන ඉඳ, සිරිකොත්
නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්


දර දිය ඇදපු අය වට රවුමට කො‍ටුව
පුරු කිය කියා තවකෙක් අලියට කෙ‍ටුව
දුර දිග දු‍ටු අයට රජමැදුරෙහි පඩිය
කරුමෙක මහත, පලදෙන හැටි සුදු කොඩිය


අතින් වැ‍ටුන කඩුවත් අතටම දීලා
සටන් කරපු දු‍ටුගැමුණුගේ රජ ලීලා
නිකන් මතක් කර නව අරුතක් පාලා
සටන් කරණු තරු, කඩු ආපසු දීලා


සිය සිය දහස් ගනනට මංපෙත් සදමී
ගිය ගිය තැනෙක අඹ පැලයක් හෝ හදමී
පිය පිය සබඳ, දැන්වත් නවතා නොතැවී
කිය කිය නොඉද එනු, රජ ගෙයි දොර අරිමී....

Monday, 23 August 2010

බිඳුණු වරපට


මුඳු සඳට සුදු 
හාදු දී පුද 
දුන්නු 
නිකළැල් ආදරේ

පි‍ටුපපා විද 
මේ ලෙසින් අද..
සිහිනෙකින්වත්
නොහැඟුනී

ගෙට ඇවිත් 
ඝණඳුරට එළියක්
වී ‍රැ‍ඳෙයි  
සිතුවත් නොවේ

මේලෙසින් හිත
ලොබ බඳින්නේ
ඇයි? 
කියා නම් නොදැනුනී

නොදැක, 
රුව ගුණ,
ගෙවුන දින, දින
හිත තබා..
හිත් මායිමේ

අකුණු සැර වැද
බිඳුණු වරපට
රුදුරු සුළඟට 
යාවුනී

ඒත් මම 
තවමත් මෙහේ.........
..........
නුඹම දු‍ටු 
ඒ  සිහිනයේ
මුඳු  සඳට  
දුන් හාදුවේ
සුළං පොදකට හාදවී......

Thursday, 19 August 2010

විරාමය


ගලා ගෙන එන රශ්මි දහරා
පුරා මගේ ලොව එළි කරයි
විරාමය කෝ අපව හමුවෙන
හිරුය හිමි නුඹ ,සඳු මමයි


පෙරා ගත් සෙනෙහසින් ඒ ‍රැස්
නුඹේ අභියස සිසිළ දෙයි
වළාවක හැංගිලා ඈතින්
දුර ඉදන් ඒ මම තමයි

කලා සොළොසම පැහැය වෙනතුරු
බලා ගෙන හිඳ සැනසුනයි
මුලාවකි ඒ සොඳුරු බව මට
අමාවවක දී සැඟවුනයි...



Tuesday, 17 August 2010

කවි කොලය.....සකල සිරින් පිරි සිරි ලංකාවේ


සකල සිරින් පිරි සිරි ලංකාවේ එකල මෙකල වෙනසක් නැත්තේ
කිකල වුවත් ගණ දෙවි නුවනැත්තෝ  තුමුල මඩිය තර කර ගත්තේ
විපුල මහා බල සද්දන්තයනුත් විසුලු  චරිතයම ඇඳ ගත්තේ
අපුල වුවත් කිව යුතුදේ කියමුය මැනිය යුතුය කාගෙත් තත්තේ

රුපුන් සමඟ යුද වැද ජය ගෙනදී රණවිරුවෙක් වුන පිනෙන් මිදී
හොරුන් නඩේකට ගුරුවෙන්නට ගොස් රජුන් සමඟ ඇයි හොදයි බිඳී
විහින් හදා ගත් අණ වින කොඩිවින තමන්ගේම හිස මතම ‍රැදී
අඬන්න හිතුනත්  ඇහේ කඳුළු නැහ හොරුන් සමඟ ඉදිනුයෙන් ‍රැදී

හැමදාමත් තිබු උපන්ගෙයි රෝගෙන් දෙතුන් වතාවක් විඳගත්තා
කවදාවත් නැති සිහින ලෝකවල දවල්ම ඔලුවෙන් හිටගත්තා
කියලාවත් ගැලවෙන්න නොහැකි ලෙස හදාපු කෙමනෙම ඉද ගත්තා
ජනතාවත් නැති විමුක්තියක් නැති නැහෙන නඩේකට වී මුත්තා

ඔලුවෙන් හිටගෙන වාද කරණු සකි,මොනවද එහි ගන්නට ඇත්තේ
හෙළුවෙන් නඩයම, සුපුරුදු ගොං කම් වලට එකෙකි පව් ගෙව යුත්තේ
පුළුවන් තවමත් පාර වැසී නැහ..ඉහ මොළ සෝදා ගතයුත්තේ
බලයෙන් කළහැකි කෙං ගෙඩියක් නැත..රජුත් එක්ක සිට ගතයුත්තේ

කවදත් තමන්ට වඩාම හිතවත් අයම තමයි ලං කරගන්නේ
ගුණවත් කම් හිත ‍රැදෙන තුරාවට,නෑ උදහසකට ලක්වන්නේ
රජුවත් රජකම හා රටවැසියන් පිළිබද දෙවරක් සිතමින්නේ
හතුරත් සමගින් එකට නිදන අය වෙත නැහ බුරුලක් පෙන්වන්නේ

ගෙදර යන්න දින ගනිමින් ඉදැද්දි කතා කරලා තව ඉන්න කියා
නතර කරන් කළ කී යුතු දේවල් නතර නොකර කළ යුතුය කියා
හතර මායිම ම ‍රැකගනු වෙනුවට  එතෙරවු ඉණිමං  අතැර තියා
ගෙදරට හිමිකම් කියන්න ආවිට දෙවන්න දඩුවම් ඇතිය ලියා

එක එක පැත්තෙන් එක එක විදිහට බලලා මොන දේවල් කීවත්
දැක දැක ජයබිම තැතිගත් උදවිය මතකයි කළ කී දේ තාමත්
සැක හැර හොදටම දැනත්, හතුරු පිළ නපුරු කලට පව් පලදීමත්
දැක ගන්නට නම් තවත් මොනවදෝ මේ ටික ඇති මට හැමදාමත්

හැමෝම පුහුදුන් මිනිසුන්මය අපි, රජුනි දෙපාරක් හිතනු බලා
හැබෑම හතුරොත් සැබෑ මිතුරුවී  රජවාසල මැති ඇමති වෙලා
හැදීම පිළිවෙත් තමයි වඩාහොද, කළ කී දේවල් ඉවත හලා
කදීම රජෙකිය කියන්න ඇහකිය, නිදොස් කරණු මෙත් කුළුණු සලා

Sunday, 15 August 2010

වෙනත් කවුද ඔබ මෙන් දිරි දෙනු නිබඳ..... පනස් වැනි බ්ලොග් සටහන




විසිරුනු සිතැඟි එක්තැන් කොට බැඳ තබන
සැඟවුනු සිනාවක නිමි මතකය ‍රැගෙන
බොඳවුනු සිතුවමක, නෙතු කඳුළක් දකින
ගතවුනු මාස හතරක දුර, ආ ගමන


ලියවුන යමක් වෙයි නම් කියවා බලන
යන එන ගමන් ගුණ දොස් එහෙමත් ලියන
හමුවෙන නමුත් කිසිදා දැක නැති බැවින
සටහන ඔබට වේ නිති මට දිරි දෙවන


කවදත් සොඳුරු මානෙක නිම් හිම් දන්න
ඔබවිත් සවිය දුනි කවි මඟ ඉගිලෙන්න
නැවතත් ඉඩක් ලද විට මේ දෙස එන්න
අයෙමත් විහඟ කවි, ගී අහලා යන්න......

Saturday, 14 August 2010

රුපුන් සෙන් පැදුරු පාටියටත් පැමින


අලුත් ජනකවි 1 මෙතනින් කියවන්න


මං බාලේ ඉදන් දැන සිටි කොළු පැටියා
ලංකාවේ විශ්ව විද්ය්‍යාලෙක හිටියා
උගේ මරුවා ඌ ඇරගෙන ගිය සැටියා
මැරූ එකෙක් හෝ දු‍ටුවෙක් තව නැතියා

රටකට වැඩක් කරණට බැරි පිස්සෝය
පිට පිට දෙපාරක් බොන ළිද ඉස්සෝය
කට මැත දොඬවමින් පාරට බැස්සෝය
වට රවුමටම කො‍ටු වුන මුන් පුස්සෝය

බුදුන් වැඩි බිමට දෙව්දත් දත් නියන
සඟුන් වටවෙලා සෙත් පිරිතුත්  කියන
රුපුන් සෙන් පැදුරු පාටියටත් පැමින
ඉතින් ආයුබෝවන් විරසක කුමන

ඇසූ දු‍ටු කෙනෙක් හෝ ලකුණක් නැතිව
බොහෝ දේ වෙතේ කළියුගයට නතුව
වහා ගිනි ගනී නැතහොත් යයි චුතව
මහා අසිරිමත් ලෙස අපි හැම පැතුව

යුදබිය පහ වුනත් ආයුධ අතට ගමු
වැඩකට නැති එවුන් අල්ලා ගස් බදිමු
කොටියට කළ දේම මදුරුවටත් කරමු
අන්තිම මදුරුවා දක්වා වෙඩි තබමු


Friday, 13 August 2010

මතක සුවඳ




හාන්කවිසියක් නුඹ ගැන නොදැනීම
වහන් විය මතක නුඹටද මට මෙන්ම
කාන්සියට කියු ගී සීපද සේම
හීන් හිනාහඬ මට ඇහෙනවා තාම


වාන් ඇළ දෙගොඩ තැළුවා සේ උතුරා
පහන් සිත් පිපුණි සෝ ළතැවුල් නොපුරා
රුවින් නුඹෙ, මහද පිරි තිබුනත් සපුරා
එවන් දිනක් එද! යළි දිවි තිබෙන තුරා


පුන්සඳ නැගී නුඹේ වත සිහියට නංවා
බැන්නැග්ගම උඩින් ඉද හිට හිනැහෙනවා
පින් මදි අතීතයේ සිතුවිළි තනි කරවා
පුන්සඳ ලෙසම නුඹ සැඟවිනි මා හඬවා


මනකල් රුව වගේ සිත රුව නැති වීද
හැමකල්  ලඟ ඉන්න නොහැකියි හිතුනාද
මුතුලැල් කඳුළු කැට සීතල වැඩි නේද
නොකැලැල් සෙනෙහස අරුමය සිහිවේද?...

Thursday, 12 August 2010

අමයුරු




ඇවිද එක යායක
පබැඳ රස පෙම් ගීයෙක
නොවිඳ මල් පහසෙක
කිමද ළතැවුල් කියනු ඇයි දුක


සුමුඳු මල් පෙත්තේ
නොවිඳු මෙළෙකකි ඇත්තේ
නමුඳු සිත් ගත්තේ
සිනිඳු බව මම ‍රැකිය යුත්තේ


මල් නම් සුවඳමය
කල්යල් බලා තැවෙනුය
විල් තෙර බඹරු මය
මල් සුවඳ වුන් නිතර විඳිනුය


දනිමි ඒ කාරණ
හිදිමි වී විස්ෂෝපන
ඉඳිමි හද බැඳි තැන
පුඳමි පෙම මල වෙතම පෑහුන


ඇතිව හද පුරවා
නිති සෙනේ ගඟ හරවා
නැතිව හිඳ තනිවා
කිති කවා යනු බඹරු සමවා


පැණසර බොහෝමය
අණ නුඹේ හරි සොඳුරුය
මන දොල පිරේ මය
හමන සුළ‍ඟෙත් සුවඳ නුඹගෙය


බඹරු මෙහි වැන්නේ
තඹරු රස විඳගන්නේ
කවුරු විදවන්නේ
මියුරු රස ගැන නැතිද දන්නේ


නිරාමිස රසයත්
විඳීමට හැම අසමත්
ගැලීමෙන් මිඳිලත්
මෙමා අමයුරු රසම විඳගත්.


Wednesday, 11 August 2010

විකල් කවි




වයසට නොහොබිනා බහු කෝළම් ‍රැගෙන
කැටිකොට නිවසටම ගොස් ඇඳ දා තිබෙන
නහුතෙට දියුණුවී ඉහමොල කිති කැවෙන
නියරට පිටින් කක්කු‍ටු වලවල් මකන


ප්‍රේමාතුර සොඳුරු ඇස් නොදකින සේම
කාමාතුර රකුසෝ මං වළකති තාම
සීමා වැට කඩොළු දැන ගන්නද කෝම
සාමා අමරටත් මඟ වැරදුනි බෝම


ගමින් ගම තිබුන අම්බලමට නිතින
ගිමන් හරින තානයම් හතු පිපෙන
ගමන් කරන්නේ හොද අතකට නොවන
වරෙන් ගෙදර නොහැරම මඟ තොට ගිමන


ලැඟ මඟ තොට ලාභ තානායම් අතර
ඇඟ මසටම බැඳුන පෙම් වතුනේ නිතර
ඉඟ සුඟ මිසක හුදු සෙනෙහසකට පතර
මඟ පෙන්වන කෙනක් වෙත් දැයි කිව මිතුර


කොල්ලන් උපත් පාලන අඩු වැඩිය ගෙන
කෙල්ලන් ජාමේ බේරාගෙන කඩුලු පැන
සල්ලන් වුවත් කිම දොස්තර අතට ගෙන
පල්ලන් බහින්නේ අද නොව දිනේ එන


කල්පැන ගියපු කව් සිරිමත් බණ දැහැන
ඇල්මෙන් අකුරු ඇයි? සැතපෙන සිරියහන
විල්ලුද මත ‍රැදෙන පින පමණිය නිවන
කල් යල් බලමු එනකොට විදිහට පැමින


නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!

Tuesday, 10 August 2010

බිඳුනු සිතුවිළි



 රිදුනු සිත සාදා
බිඳුනු සිතුවිළි සෝදා
‍රැ‍ඳෙනු  පින සාදා
හිඳිනු අත් බැඳ මඟ නොවරදා


සිතුම් බොඳ වූවයි
හැඟුම් බර වැඩිවේ මැයි
ඇඬුම් දුක බෝමයි
පැතුම් මල් හැමදාම පීදෙයි


ඇන බැන අඬගසා
පැන පැන නපුරු විලසා
ගුණ ණැන නොවිමසා
වින කෙ‍ටුන දින බලනු විමසා


බොළඳ සිත රත්වී
නොමද තැවුලට පත්වී
දිවිද සුනරුත් වී
නොවිදනා දුකකටම පත්වී


පිපුණු හස‍රැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්


සිත් බිඳුම ඇත්තයි
ගත් බෙහෙත හරි තිත්තයි
පත් අගති දෙස් දෙයි
නවත්වපු තැන තවම සිත් ගයි


නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැ‍ඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්


සියල් සිරිගැන්වෙයි
විපුල් මඟ සිහිගැන්වෙයි
රුකුල් දී ලංවෙයි
එකල් නොකියූ කවිය කියවෙයි.




Monday, 9 August 2010

අවනඩුව




නිමිත්ත: ආචාර්ය මර්වින් සිල්වා උප ඇමති තුමා සමෘද්ධි නිලධාරියෙක්ව ගස් බඳියි.
ස්ථානය: කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය
පෙළගැස්ම: පැමිණිල්ලක් ඉදිරිපත්වුවහොත් සළකා බැලිය හැක
සාක්ෂි: ලංකාවේ ප්‍රවෘත්ති පත්තර, ටීවී ප්‍රවෘත්ති  වෙබ් අඩවි විඩියො හා මෙකී නොකී දෑ
යොමුව: 
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙත නමස්කාර පූර්වකව

දෙනෝ දහක් සිය දැසින් දක්කේය
තවත් සහසකට උණුවෙම වික්කේය
දෙනත් අයා දු‍ටු අය කට ‍රැක්කේය
පුවත් දැන දැනත් පුවතක් නැත්තේය



ශක්ති බලගතුව තිරිසන් ගති දරණ
පත්තියම් නොවුන බෙහෙතම ලද බැවින
විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බි‍ඳෙන



බලව් සතර අත අණ වින කටිනු බලව්
නැගෙව් එකා මෙන් පිස්සව කුදලා ගනිව්
කියව් මහ රජුට අවනඩු නතර නොවව්
වරෙව් සොයාගෙන..... යුක්තිය පසිඳලියව්


අනේ රජිඳුනේ,  අපගේ දුක අසනු
වනේ වන සතුන් සේ සඟවා නොයනු
විනේ කටින අය දැන හදුනා ගනිනු
ගුණේ ඇති අයට යහ වරදාන දෙනු



මැස්සා මැරූ වඳුරගෙ වඟතුග දන්න
පිස්සාගෙන් කඩුව විඟහට ඇරගන්න
නිස්කාරණ විහිළු සැපයුම නවතන්න
වස්සන් අඹවන්න උම්බෑ නොකියන්න


Sunday, 8 August 2010

අලුත් ජන කවි..




කොරවක්කන්ට මඟ කියනා මහ බස්සා
වරුවක් නැගිට හිඳ උපවාසෙට බැස්සා
බොරුවක් නොවේ වලිඟය අංදෙක උස්සා
කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා


රජ වාසලේ කන්නට නැති කල සීනී
අන්දරේලා කර උඩ නැතිවම ගෝනී
දියවන්නාව හොරුනට විය පරවේනී
උලලේනිත් පලච්චිය පින මදිහෙයිනී


ගිලීමලෙත් දත සුද්දන් ඇති සේමා
පොලී කොමිස් වල වගතුඟ නම් බෝමා
කෙළී සියොළඟම අපුලක් වෙද කෝමා
පොළීසියත් වලිගය නැති ගොනු සේමා


සිත් පිත් නැති රෝම නීතිය පි‍ටු දකින
ගස් ගල් හොයා හොයා බැඳ දඩුවම් දෙවන
පස් පව් කියන්නේ මොනවාදැයි නොදැන
සක්විත්තොත් මඟට බැස හිඟමන් යදින


කොටින් කැලේ නොව  වාසල වෙත ගෙනෙනු
හටන් කරපු අය උළුගෙදරට යවනු
දනන් දන ගසා හැඬුවත් නොමබලනූ
කතන්දරේකට මදි, තව නැහ කරුණු


වසුන්  බදින වර පට අත ‍රැදීයන්
විසල් දොර‍ටු හොරු පිරිසට වැසීයන්
විකල් නොවී සිහි එලවා දිනේවන්
කොසොළ් සිහින මහරජුටත් පෙනීයන්

Saturday, 7 August 2010

නොදු‍ටු හිරු


කරුවල පි‍ටු දකින්නට සඳ එළි පැතුව
බොරු වලවල් වලම නිරතිරුවම කො‍ටුව
හිරු මල පෙනෙද්දිත් ඒ ගැන වග නැතිව
මරුවැල නොපාගා ඒ අසළම නැ‍ටුව


බැටකා ගිණි පෙනෙල්ලෙන් පාඩම් ලැබුවේ
විටකදි කණ මැදිරි එළි වලටත් හැඬවේ
පිටි කා ඉවර වී කැවුමට පිටි මදිවේ
නොතකා හරිනු කොහොමද? තවමත් සිහිවේ


කලින් කළ පළින් පළ කීවා සේම
හෙමින් හෙමින් නුඹ මවෙතට ආවාම
ගිමන් හරින වගකුත්  කිසි නැතිවාම
හොරෙන් ගියේ ඇයි මාහට නොකියාම



කලුත් ගොසින් දැන හඳුනා ගත්තේද
සිරිත් විරිත්  කුළ මල ගොත් ‍රැක්කේද
නුඹත් මමත් මේ සසරේ එක්වේද
විරිත්තමින් පි‍ටුපා යනු සිත් වේද



කලකදි රහලු ..ඒ රහ නම් දැන් නෑලූ
විටකදි හමුවෙලා වස විස කෑ සේලූ
දුකකදි මට අදත් මමවත් නැතිවීලු
විලකදි මාලු හමුනොවුනට දුක නෑලු

Friday, 6 August 2010

නොකියූ කවිය


"නෑවිත් යන්න බැරි නොගොසින් එන්න බැරි"
ඈවත් ඇරන් එක මඟ යන මං ඇහිරි
ආවත් නැතත් හිත බැඳි සෙනෙහස නොහරි
මාවත් "දේවේන්ද්‍රා සන්" කෙනෙකු සරි


හිත් පිත් නැති ලොවක වත්සුනු තවරාන
නෙත් නැති වුනදාට ලස්සන කෝ පේන
ඇත්තම කියන්නට ගොස් පැටලුනි හීන
හිත්ගත් නුඹත් තවමත් පැටලෙන ගාන


පින්නේ පිපුන බිම් මල් සුවඳක මුසුව
දුන්නේ පිළින මුඳු සෙනෙහසකට නතුව
යන්නේ දැයි නොදත් පෙරහැරකට කො‍ටුව
ඉන්නේ විස්මතවදෝ දෙඩුමක් නැතිව


පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
රෑවෙයි අයෙත් ඒ හෙවනැළි දැස වසා
මාවයි නුඹයි ඒ දියදම නියත ලෙසා
පායයි නුඹට හිරු මගේ උරුමය සලසා


සරිකොට සිතැඟි දැන හදුනා ගත්තේද
ගුරුකොට ප්‍රේමයම නුඹ ඒ මත්තේද
වරුවට දෙකට  අගතියකට පත්වේද
"නොරිකොට" වෙච්ච දේ නුඹටත් අත්වේද?