Sunday 20 June 2010

විපිළිසර වී..




ඇවිත් ගියත් යළි නැවතත් එමිය කියා
පුවත් නොදැන සඳ හිරු නම් ඇවිත් ගියා
නුඹත් තවත් කඳුලක් නෙතු අගට තියා
ගියත්, සොඳුරු සිහිනෙම මම දෙනෙත් පියා


"පිපි මල් සැවොම පරවී යන නමුඳු ලොවේ
මල් පිපෙනුයේ පරවී යන්නටම නොවේ"
යනුවෙන් දෑත් බැඳුනත් ලෙස පුරුදු භවේ
ගිනිගත් මසිත තවමත් නුඹේ නමින් දැවේ


අරුමය කියා දී දිවියේ ළඟින් හිඳ
උරුමය නුඹම විය හැමදා නුවන් බැඳ
පිළියම නොදත්තෙන්, ‍රැකවල් බිඳින ලද
කරුණුය  විපිළිසර මගේ හිත මඩින ලඳ


බෝසත් ගුණ දුටින් තැන්පත් රුව ගාව
පෝසත් නොවින සිතුවිළි විසිරුනි පාව
පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ  වෙනමම ලෝකෙක යාව


පාවෙන සුළඟකත් සුවඳම පතන්නෙමි
නැහෙන දුරක සිටියත් මඟ බලන්නෙමී
වෑහෙන කඳුළු සඟවා දුක දරන්නෙමි
පේවෙන මසිත නුඹ වෙනුවෙන් තබන්නෙමී

14 comments:

Anonymous said...

හිත දුක් කර ගන්න එපා විහඟ....

බෝසත් නුඹේ සිත සුවඳයි හැමදාම
නාවත් ළඟින් සිත ඇත්තේ නුඹ ගාව
මාවත් මෙහෙන් අරගෙන ගියොතින් හේම
මාගේ මවත් නුඹ මෙන් තනි වෙයි නේද?

නාවත් ළඟට සිහිනෙන් නුඹ දකින්නෙමි
කාටත් නැතත් නුඹටම පෙම් කරන්නෙමි
මගේ සතු පණත් නුඹටම පුද කරන්නෙමි
නෑවිත් ගියත් හදවත නුඹෙ පතන්නෙමි

කියල ඇය කියාවි.....

Eranga Perera (Muthu Paba) said...

Dennagema kavi dekama
Lassanayi habayi dukayi...

නාමල් උඩලමත්ත said...

ඔයාට හොඳ සහජ කවිත්වයක් තියෙනවා. ඔයා නිසඳැස් කියන කුකවි ලියන්න නොපෙළඹීම ම ඒකට සාක්ෂියක්. ඒක තව කවිය ගැන හදාරලා වර්ධනය කරගන්න.
කවියේ එක ම ආකෘතිය සිව්පදය නෙමේ. හුඟක් තව ආකෘති තියෙනවා. අපේ වස්තු විෂයට උචිත ආකෘති එතනින් තෝරගන්න ඇහැකි. සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විද්‍යාව, අමරසේකරගේ සිංහල කාව්‍ය සම්පද්‍රාය කියැවීම ඔයාගේ කවිත්වය වර්ධනය කරගන්න හොඳ රුකුලක් වේවි. ජය!
http://makarandaya.blogspot.com/

දුකා said...

මේ කවි සංවාද මාර සුන්දරයි . . ලියන සමහර ඒවා දුක්බර වුනත් කවි ඇහැකින් බැලුවාම දුකත් සුන්දර ව පේනවා . . .

දැලි පිහිය said...

පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ වෙනමම ලෝකෙක යාව
මොන ලොව ජීවත් වුවද මේ කවි ඔබ ලීව
සුපර් කියමි වෙන වර්ඩ්ස් නැත මා ගාව!!

විහඟ ගීතය said...

@වත්
කල් බලා හිදින්නෙමි දුර ඈත ඉදන්
ලංවෙලා හිඳින්නට පිං නැතිව ගිහින්
හැංගිලා බැන්ද පෙම ගං දෝර ගියෙන්
නිල්වලා ගඟට රහසක් නොවිය ඉතින්

කියල ඔහු කියාවි......

විහඟ ගීතය said...

@ Muthu Paba

සිතූ දේ නොමවෙන
නොසිතූ දෙයම සිදුවන
වියෝගය ඉවසන
තවත් හදකට එබී බැලුවෙන

විහඟ ගීතය said...

@ නාමල් උඩලමත්ත

කවි රසය විඳිමින්
මහඟු උපදෙස් දෙවමින්
විහඟ ගී අසමින්
අයෙත් දවසක යන්න ඇවිදින්

විහඟ ගීතය said...

@ දුකා

මොරගහ හේනේ බසයේ හිඳ බැස දුවපූ
ඔහු ඔබ වගේමලු නිතරම දැක හිටපු
සැහෙන කාලෙකිනි කොහොමද වැඩ පුරපූ
අලුතින් කතා කෝ? ටෙක් දිවියෙහි ලියපු

විහඟ ගීතය said...

@ දැලි පිහිය
හරි මඟ යතොත් හරි අත් වැල පතාගෙන
දිරියකි එයම දිවියට සෙත සදාදෙන
වියොවින් වියුක්තව පෙම පුබුදුවාලන
දැලි පිහියකින් කිරි කනවා වගේ මෙන

Anonymous said...

පාවෙන සුළගෙත් මගෙ සුවඳම සොයනා හන්දා
වෑහෙන කඳුළුත් නුඹෙ දෑසින් මා වෙනුවෙන් හන්දා
පේ වෙන සිතත් නුඹෙ මා වෙනුවෙන් හන්දා
නෑහෙන දුරක සිටියත් ම'සිතේ ආලය ජීවත් කරමි නුඹ හන්දා

විහඟ ගීතය said...

@isimbuwa
නැහෙන දුරක සිට මාවෙනුවෙන් පේවී
පාවෙන සුවඳ විඳිනට දවසක් ඒවී
ඒ ගැන සිතමින්ම හිත නුඹ වෙත යාවී
වෑහෙන කඳුළ වුව සතුටක් ගෙනදේවී

Anonymous said...

බිසී නිසා හමුවනු නොහැකිව තැවෙන
වරක් දෙකක් නොව සැමවිට සිහි නැගෙන
නැතත් ලඟින් උණූසුම නිතරම දැනෙන
ඇවිත් යන්න නොහැකිද සුවඳත් රැගෙන

විහඟ ගීතය said...

@ වත්

දී නෙත් සිනාවෙන් මුඳු දෙහදක් බැඳුන
මා නෙත් මායිමට තව ලංවනු නොහෙන
ඒ හිත් මනාපෙට ලංවී ලොබ බැඳුන
නාවත් නිතර හමුවෙන සිහිනම ‍රැ‍ඳෙන