Monday 25 October 2010

පමාවූ විවාහ සංවත්සර කවිය



පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ
ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ
බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්
නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 
දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්
කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී
නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්
බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්
මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

10 comments:

Anonymous said...

පමා වුනත් මතකෙට ගත්තා නොවෙද
නුඹ වෙනුවෙන් දුක් වින්දේ ඈ නොවෙද
නුඹෙ දරුවන් කුස ඔත්තේ ඇගෙ නොවෙද
සැමටම වඩා නුඹ හදුනනවා නොවෙද

නෑ සනුහරේටම ඈ පිටුපා ආවේ
නුඹගේ සිතට දුන් ආලය බර නොවෙදෝ
බැණ අඩ ගැසූවත් පසු පස ඇය ආවේ
නුඹ හිත ඇයට මහමෙර සේ නොවෙදෝ

බිදිනු කැඩුන සිත් නුඹලගේ යා වේවා
කුරුළු කැදල්ලක සෙනෙහස බෝ වේවා
සීතල තනිවු හදවත් උණුසුම් වේවා
විහඟ ගීය මිහිරුති යුග ගීයක් වේවා

෴ සුබ පැතුම් ෴ කුරුල්ලටයි .. කිරිල්ලිටයි... වූටි කුරුළු පැටවුන්ටයි... ෴

තිස්ස දොඩන්ගොඩ said...

හරිම ලස්සන සංවේදී කවි පන්තියක් මහත්තයෝ...
ඔතෙන්ට එන එක ලේසි නෑ... තරුණ කාලේ මොනවා හිතුනත් මිනිස්සුන්ට ගැහැනුන්ට...
මේ කවි පන්තිය මතු දවසේ යුගදිවි එලැඹෙන දුවා දරුවන්ට පහන් ටැඹක්ම වේවා...

විහඟ ගීතය said...

@ ෴ වත් ෴

දෑගිලි බැදන් රන්හුයෙන් මුතු මාල බන්දා
පැහුන දෙසිත එකසිත් සේ හිතපු හන්දා
පේවුන මඟම ගත්තත්, යාදුර නොබින්දා
නුඹගේ පැතුම් සුභ මගුල් ලකුණක් පළන්දා

විහඟ ගීතය said...

@ තිස්ස දොඩන්ගොඩ

ජීවත් වුනයි, වෙනවයි, එකසේ නොවේ නම්
ඈවත් අතින් ගෙන මඟේ ...යන ගමන මේ නම්
"නෑවිත් යන්න බැරි" මඟේ වැටකඩොළු බෝ නම්
ඒකත් ඉතිං සුභ මගුල් ලකුණක් ම වේනම්

ගල්මල්-Coral said...

පමාවී හෝ සුවඳ මතකය මතක් වීම
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

සුබපැතුම්!

Ravi said...

වෙහෙසකර දිවිගමන සිසිල් දියපොද නුඹයි,
හදවතේ මතුව එන සඳුන් සුවඳත් නුඹයි,
දෙනෙත් මුණගැසුනු දා පටන් මා ලඟම උන්,
පිය ලඳුනි, සසර අතහරිනුයෙත් නුඹ ලඟයි,

මගේ සුබ පැතුම් මිතුර,

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

දමා යා නොහැකි ලෙස ගතටම බැඳුනු
අමා දියදහර වී සිසිලස පිදුනූ
අමාවකෙත් පුන්සඳ වී හිත පිරුනු
පමාවනු නොහේ ඒ පෙරමඟ ලකුණු

priyantha said...

පමාවී පැමිණි මගෙනුත් සුභ පැතුම්!!!!

විහඟ ගීතය said...

@ Ravi

හිතින් හඩාගෙන පිටතට හිනාවෙන
දූන් පුතුන් මහ මෙර සේ හිසින් ගෙන
හෙමින් සැරේ මා හෙවනැල්ලමෙන් එන
පහන් සිල ඇයයි ආලෝකයක් දෙන

විහඟ ගීතය said...

@vpriyantha.ඒබී

පසුගිය දවස් වල අවුලක පැටලීන
හැමදේටම පමාවෙන බව නම් පේන
බ්ලොග් ලියමන් වලත් අලුතින් නැහ මූන
මම මෙහේ බලන් තුරු ආරංචිය ගේන