Saturday 5 March 2011

සඳ වතක් වුනා නුඹ මට ,


සඳ වතක් වුනා නුඹ මට,
 තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී  නිතින්

දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
‍රැඳුනි දෝ ළඟින්

නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත්  නුඹෙ වඟ
කොඳුරලා  ගිහින්

දුර ගියත්  හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ ‍රැක
හිඳිනෙමී ඉතින්.....

14 comments:

priyantha said...

කලකට පසුව ආවෙමි කවි අසන්නට..
වෙනසක් නොමත මට නම් පෙනෙන්නට..
මෙතරම් රසට කවි පද වැල් ගොතන්නට...
අඩුවක් නොමැත කවදත් වගෙ කියන්නට...

Podi Kumarihami said...

අදමයි මේ පැත්තට ආවේ. මම නම් කවි ලියන්ට දන්නේ නෑ. හැබැයි රස විඳින්ට දන්නවා.

ලස්සනම ලස්සන කවි ටික.

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

ගෙනවිත් මගේ මතක නොයෙකුත් ඉසව් අරා
නුඹවිත් ගිය වගත් මම මතකයෙහි දරා
හැමදාමත් නුඹේ ගෙට විත් නුඹට හොරා
ගිය බව දන්නෙහිද නිමි නැති වැඩත් වරා

විහඟ ගීතය said...

@ Podi Kumarihami
විස්සෝපයෙන් අත්තම්මා ගැන සිත්තම්
විස්තර ඇතිව මම මෙහි දැක්කේ නැත්නම්
ඉස්සර වලව්වල හෝ වාසල ඇත්තන්
දස්කොන් වෙලාවත් ඔහෙ එන්නට ඇත්නම්

Ravi said...

ගනඳුරින් වැසුනු වනපෙත,
මංමුලා වැලක පැටලිනි,
අරමුණක් මඟක් නොදැනම,
දසත ඇවිද්දෙම්,

විඩාබර දෙපා සනහන,
රිසින් ඉසුඹු ගෙන සිටියදි,
කලුව කපා පෑයූ සඳ,
දුටිමි කඳු මතින්,

කොඳ කැකුලු පුබුදු කරවා,
මුදුන් වුනු පුරා සඳ වත,
දෙසම නෙත් යොමා සිටියෙමි,
පහන් වන තුරා,

සඳ නුඹත් ඔතැන දිදුලයි,
මම මෙතැන වැතිර සිටිනෙම්,
සැනසුමක් ගෙනෙනුයේ නුඹෙ,
සිහිල පමණකී,

විහඟ ගීතය said...

@ Ravi,

පිපුණ කොඳ කැකුළු මුවමත
සැදුන මඳ සිනා දු‍ටු සඳ
මසිත නුඹ කෙරේ බැඳි පෙම
පසක් වී මනා

විඩා ගත තවා සනහන
මගේ සඳ කිරණ සමහන
නුඹේ ගත සිතට පනදෙන
දිව ඔසුව වෙලා

දිවා රෑ දෙකේ නුඹ දැක
නුඹ ගැනම සිතා පිළිසිඳ
හිතේ පීදෙනා සෙනෙහස
නුඹටමයි සදා

තිස්ස දොඩන්ගොඩ said...

ලස්සනයි මහත්තයෝ....
රසවින්දා අඩුවක් නැතිවම...

ඔය පලාතේ කලබොල නැත්ද මහත්තයෝ...
අපට ලැබෙන තොරතුරු නම් ටිකක් නරකයි...

විහඟ ගීතය said...

@ තිස්ස දොඩන්ගොඩ

ඇවිදින් විහඟ ගී රස විඳිමින් තු‍ටුව
මා උන් ඉසව්වේ තොරතුරු ගැන ඇසුව
හිතවත් තිස්ස මල්ලියේ,පවසමි දු‍ටුව
දේවල් නම් නෙතට කඳුළකි එක් කෙරුව

මා ඉන්නා ඉසව්වෙන් ගව් යොදුන් දුර
නගරෙක සිද්ධ වුන ගැ‍ටුමක් ගිහින් දුර
පරසිඳු "ලුලූ හයිපර්මාර්කට්" කඩා හැර
ගින්නක් ඇවිලුවා කවුරුන් නමුත් හොර

ගැ‍ටුමින් මෙරට පුරවැසි දෙදෙනෙකුන් මළා
තව තිහ හතළිහක් කුදලා ගාල් කලා
නොතබා මිනිස් පොළිසියේ ගැ‍ටුමකට පෙලා
පසුදා ඔවුන් හැම දෙන ඉන් මුදා හලා

ටියුනීසියාවෙන ඇරඹී ගිය ‍රැල්ල
ඊජිප්තුවේදී වූවට කැලඹිල්ල
ලිබියාවට ගෙනත් දුන්නත් කැරකිල්ල
මෙහ නම් තබා ඇත තිතටම නැවතිල්ල

තිස්ස දොඩන්ගොඩ said...

මදෑ...!
තමුන්නැහැ කරදරයක් නැතිව ඉන්න බ්ව දැනගත්ත එක ලොකු දෙයක්...

විහඟ ගීතය said...

@ තිස්ස දොඩන්ගොඩ

තු‍ටු සිත් තබා ගෙන බ්ලොග් ලියමන ලියන
පි‍ටු පත් පුරාවට හද ඇදී ගී මවන
ව‍ටු කැල ඉඟිලුනා සේ හකුලා කෙමන
පි‍ටු දකිමින් අඳුර අපි යමු මේ ගමන

ගල්මල්-Coral said...

නුබ ගැබ දිලෙන තරු
සැරසී රටා මවනා'යුරු
දැකුමට නෙතු මියුරු
බලන් සඳවතිය යනා'යුරු

සැඟවී බලන සිත හඬනා
අඳුරු අහසෙම තරු දිලෙනා
සඳවති කෝමෙයි වාවනා
බලන් වට වට මෝදුවෙනා

Chandi said...

නිදිවරා සඳ නැගෙන යාමෙක
ඇවිත් ගයනා විහඟ ගීතය
මත්කලා මගේ හද ගැබ
හදිසියේ නෙත ගැටී අද දින

ඩීන් සොයුරාගෙ ලිපි මැද
තිබී හමුවුනි විහඟ ගීතය
රැඳ වුනා සිත සඳවතක් ලඟ
වින්ද විරහව මත් කලේ සිත

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

හද පුරා නැගි සොඳුරු වත
සඳ වතට හැංගීලා
යනතුරා නෙතු මායිමෙන් පිට
හිඳිමි ලංවීලා
එනතුරා මඟ බලමි දවසක
නෙත් කැළුම් පාලා
පෙම පුරා මම නුඹෙ නමින් අද
හිදිමි තනි වීලා

විහඟ ගීතය said...

@C handi

සඳ නැගී නිදි වරණ යාමෙක
හඬා වැ‍ටුනද සිත ‍රැදී දුක
තබා තිත නො‍රැදුනද අසලක
කොහේ වද, බැඳුනිදෝ සෙනෙහෙක

පිපාසිත වී ‍රැදී කතරෙක
දිය බිදක් මිරිඟුවෙක දැක දැක
විඩා දුනි මිරිඟුවම ලුහු බෑඳ
නිවේ සිත සඳ දු‍ටු ඇසිල්ලෙක