Monday 28 March 2011

ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා



ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා
සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා
හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා 
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා


සියල් සිරිත් හැර උඩුගං බලාගෙන 
උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන 
විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන 
ලකල් නුඹත් උන්නා හිත හදාගෙන


සුපුන් සඳේ තරු පිරිවර හා ‍රැඳුන 
ඉතින් නැවත මා එනතුරු මඟ බලන 
නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ 
පිපෙන්න ඇයිද? මල් අකුලක ‍රැ‍ඳෙන



පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී 
උන්නේ ළඟට වී දුක , සැප හා බැඳුනී 
යන්නේ නැත ඉතිං ගත සිත නුඹෙ නමිනී 
එන්නේ කවදාද යළි දැකුමට ළඳුනී

8 comments:

Chandi said...

විහඟ ගීතයේ විරහ ගීතය නෙතගැටී
අද හද බැදුනි ගීතයෙ සොමි ගුනෙනී
දෙතැනක වෙසී සුසුම් ලන පති පතිනී
මෙලෙස පදබැඳ විරහ ගීතය කියන්නී

තිස්ස දොඩන්ගොඩ said...

ඒකනම් බොහොම ලයාන්විත කවි පංතියක්..!

ගල්මල්-Coral said...

පදපෙල ගොඩාක් රසවින්ඳා, පසුව ඇවිත් කොමන්ටුවක් කරන අදහසින් සිටියත් පමාවුන නිසා සටහනක්වත් නොකර යන්න බැහැ අද නම්.

විහඟ ගීතය said...

@ Chandi

ඇවිත් ගෙදරට ගියත් නිතරම
මටත් මෙහේ වැඩ ගොඩ නිසා
නවත්තා ගෙන කතාකෙරුමට
තවත් මට නැතිවිය වෙලා

මමත් එහෙ මෙහෙ දුවන අතරෙහි
නුඹෙත් ගෙට ගොඩවෙන නියා
යළිත් ඇවිදින් යන්න , හමුවෙමු
අළුත් අවුරුද්දෙන් එහා

විහඟ ගීතය said...

@ තිස්ස දොඩන්ගොඩ

ඔබේ රස බර ගීත හැදිනෙමි
රසවිඳිමි නිරතුරු තුටින්
වෙලාවක් ලබමින් මෙහෙට එන
එකන් මට සතුටකි නිතින්

"එදාමෙන්ම අද ඈත අහසේ
පහන් තාරකා දුදුලන යාමේ"
ගීය සොයන්නෙමි බොහෝ කලෙක සිට
තිබේ ඒ රස ගීය ඔබේ ළඟ,
තුටිනි දකින්නට "හද ගී" පි‍ටු මැද..

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

ඇවිත් මෙහෙට කවි රස විඳිමින් නිතර
තවත් හිතට එන දේ ලියමින් නතර
පුවත් මවන ගල් මල් බ්ලොග් පි‍ටු අතර
මමත් බොහෝ දේ දැන ගන්නෙමි මිතුර

තිස්ස දොඩන්ගොඩ said...

හප්පා මමත් කැමතීම සින්දුවක්..
ලියන්ට ප්‍රමාද වෙන නිසා මේං සින්දුව...
බාගන්‍ට...
මහත්තයාට සුභ අලුත් අවුරුද්දකුත් වේවා...
http://www.divshare.com/download/14550230-8db

විහඟ ගීතය said...

@ තිස්ස දොඩන්ගොඩ

බාගත හැකි වුනා
ගී රස විදිමි නිතිනා
ඒ පිනෙන් නොමිනා
සැමට අවුරුදු පැතුම් පතනා