Friday 6 August 2010

නොකියූ කවිය


"නෑවිත් යන්න බැරි නොගොසින් එන්න බැරි"
ඈවත් ඇරන් එක මඟ යන මං ඇහිරි
ආවත් නැතත් හිත බැඳි සෙනෙහස නොහරි
මාවත් "දේවේන්ද්‍රා සන්" කෙනෙකු සරි


හිත් පිත් නැති ලොවක වත්සුනු තවරාන
නෙත් නැති වුනදාට ලස්සන කෝ පේන
ඇත්තම කියන්නට ගොස් පැටලුනි හීන
හිත්ගත් නුඹත් තවමත් පැටලෙන ගාන


පින්නේ පිපුන බිම් මල් සුවඳක මුසුව
දුන්නේ පිළින මුඳු සෙනෙහසකට නතුව
යන්නේ දැයි නොදත් පෙරහැරකට කො‍ටුව
ඉන්නේ විස්මතවදෝ දෙඩුමක් නැතිව


පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
රෑවෙයි අයෙත් ඒ හෙවනැළි දැස වසා
මාවයි නුඹයි ඒ දියදම නියත ලෙසා
පායයි නුඹට හිරු මගේ උරුමය සලසා


සරිකොට සිතැඟි දැන හදුනා ගත්තේද
ගුරුකොට ප්‍රේමයම නුඹ ඒ මත්තේද
වරුවට දෙකට  අගතියකට පත්වේද
"නොරිකොට" වෙච්ච දේ නුඹටත් අත්වේද?

13 comments:

Shadow/හේමලයා said...

මතකයේ සුසානය.....

චේජනා said...

මතකය වළලන සුසානයක් නැත
දෙවෙන්දරා මරණය සෙව්වත්
නොරිකෝ වැලපෙනු දු‍ටු හිතකින්
ඈ නොරිකෝ නොකරන්...

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

මතකය වේදනාවකි අමිහිරි වෙත්නම්
නිසැකය වල දමයි කාලය යාවෙත්නම්
සැපතය මිහිරි මතකය සිහියට එත්නම්
සතුටය විඳින්නට රිසි, දුකකුත් නැත්නම්

විහඟ ගීතය said...

@චේජනා
දුකකදි විඳිනු බැරිවුව,මුඳු සිත් ගත්තෝ
කලකදි හැපි හැපී ඉඳ, දිවි සමුගත්තෝ
වුනහදි විඳ දරා සුසුමට වී ගැත්තෝ
විටකදි අපි හැමෝමත් මළගිය ඇත්තෝ

මැණික්(සුළඟ) said...

පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
රෑවෙයි යලිත් ඒ හෙවනැළි දැස වසා
මාවත් මගේ දෑසත් සිහිනොවුන නිසා
ආවත් නැතත් තරහක් නැහැ ඉමි ඉවසා
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ මැණික් (සුළඟ)

ඈවත් නුඹත් එක් සිහිනෙම දෙකොන වුන
මාසිත් කියයි ඒ සිහිනෙම දකිනමෙන
නෑවිත් ඉදින්නට බැහ, නුඹ දකින පින
නෑ අත්විඳින්නට, නුඹ සුළඟකිය යන

Anonymous said...

ආදරය කළේ ඇය තම පණ කෙන්ද වගේ
කාලය ගියේ හීයක වේගයෙන් වගේ
ආලය කරත් නොරිකොට ලෝකයක් වගේ
ඇයිදෝ ඇයව ඒ ලොව තුල දමා ගියේ

ආලය ආදරය සෙනෙහස පුද දෙන්න
නැත කිසි ලොබක් නොරිකොට නුඹ හිත දුන්න
නැවත වරක් බැහැ නොරිකොට තනි වෙන්න
ලගින් ඉන්න, දුර යන්නට බැහැ දෙන්න

priyantha said...

වත්ගේ උපදෙසින් මේ පැත්තට ආවා..
පොඩ්ඩක් කියවලා බැලු කල කවි රස වූවා..
විස්තර ලියන්නට කාලය මදි වූවා...
ඔක්කොම කියවලා යන්නට හෙට එනවා..

විහඟ ගීතය said...

@ වත්
දුවන් එන්න සිතිවිළි සේ හිතුනාට
ගිහින් එන්න කියලා හිත කීවාට
ලගින් ඉන්නවා වාගේ නැහ ඊට
දිනෙන් දින දුරස් වෙනවද නුඹේ හිතට

විහඟ ගීතය said...

@ Priyantha.ඒබී

"මාගේ මතක" කාලෙක සිට ලියමින්න
වුන්නත් මගේ ඇස ගැසුනේ අද ඔන්න
ලියු දෑ බලන්නට මට කාලය දෙන්න
ආයෙත් වෙලාවක මෙහෙ ඇවිදින් යන්න

Srimanjula said...

දුක් ගී සතුටු ගී එකිනෙක මත පැරද
පෙම් ගඟ විටක පැහැදිලි! යලි වෙයි බොරද
විරහව දැනෙන හද කෙතරම් ගින්දරද
ප්‍රේමය අම්මපා !!!! කෙතරම් සුන්දරද

විහඟ ගීතය said...

@SRI MANJULA

ඇතිවත් කිසි දිනෙක ඇති වෙන්නේනෑය
නැතිවත් ඉන්න බැහ හිත හැඬවෙන්නේය
හිතුවත් සැනසුමකි, යලි ඉපදෙන්නේය
විහසිත් මේ ගැනම හොද හැටි දන්නේය

Anonymous said...

පෑවත් සෙනෙහසක් ළං කර ගන්න බැරී
ආවත් නුඹ දිනක් රදවා ගන්න බැරී
කාවත් නැතත් නුඹ ඇය හා ඉන්න සැදී
නාවත් තරහ නැහැ හිත හදුනා ගන්න ලදී