Monday, 6 September 2010

"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත"


බලේ බලේ තුන් හෙළයම ‍රැකුන බලේ
කොලේ වහන් ඉදගෙන අයේ මොටද බොලේ
පිලෙ පැඳුරු දාගෙන ඇති හිටියා මලේ
කුලෙ අලි පවා දහ අට රකින කලේ


හයෙන් පහක බල හැත්තැ හතේ ගෙන
ගනන් නොගෙන මහජනතාවගේ අන
තමන් වෙනුවෙන්ම මේ වියවුලේ ඇන
විහින් නැහුනේ අලි මිස කවුරුදෝ වෙන


ගෙනත් අවනීති අතපය බැඳ දැමුනී
නැවැත්වුයේ විරෝධය කුළු පොලු වලිනී
මහත්වරුනි ,අපි නම් ඒලෙස නොවිනී
මහත්තයාට වෙඩි නොවදින බෙන්ස් දුනී


ඇවිත් විටින් විට අරලිය වලව්වට
රොටිත් සමග කෑ හැලපත් මතක් කොට
වෙඩිත් නොවදිනා තු‍ටු පඩුරු ලත්විට
රටත් ඔහුටමයි, මේ ටික ඇතිය මට


බලව් දෙනත් හැර හැත්තෑ හතේ පවේ
බොලව් ලා නේද අත් දෙකම ඉස්සුවේ
ඉලව්වක් නොවේ ඒ නුඹලාගේ පවේ
හිලව්වට අතක් උස්සමු පවක් නොවේ


කුමක්  කවුරු  කීවත් නොසිතමුය සැකේ
යමක් කමක් කළ හැකි අයටමයි ලකේ
වරක් දෙකක් නොව දිවි ඇති තුරුම ‍රැකේ
පොරක් නොවෙද රජ! රට ලතවුනත් දුකේ


"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදුන් මිස අන් කවෙත"
පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර  කවුරුත් නොමැත!





6 comments:

priyantha said...

ඇත්ත ඇති සැටියෙන් සැමදා දකින..
නුඹගේ කවියේ රස නම් අඩුවක් නොමැත...
රට තොට විත්ති සැමදා ඔබ කවි කරන..
අසනට නිතර යොමුවෙයි මගේ සිත...

නාමල් උඩලමත්ත said...

පුටුව ඇතත් හරි නිරිඳෙක් නොසිටි නිසා
ඔටුණු ඇතත් පලඳින තැන නොමැති නිසා
නිකන් අයාලේ ගිය රට නපුරු දසා
කෙළවර කරමු හද පරගැති ගතිය නසා

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

මැරී ඉපදිලා වාගේ තකහනියේ
මහා අලි ගෙදර හරි, හරි ජරමරයේ
කෙරූ කියූ දේවල් යළි හිටිහැටියේ
ඉහේ පතිතවී, යන එන මං නැතියේ

විහඟ ගීතය said...

@ නාමල් උඩලමත්ත

රජකම් කලත් කල කම් පලදෙන ගතිය
පල දී තිබේ යලි, රජ වෙන්නේ නැතිය
කැසපොට ගසා ගෙන නැ‍ටුවත් දනි පනිය
දු‍ටුගැමුණු ටය රට!, රට දු‍ටුගැමුණු ටය!,

charmi said...

"පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර කවුරුත් නොමැත!"

මරු කතාව. නියමයි.

විහඟ ගීතය said...

පිසාචර යකුන්ටත් වැඩියෙන් අමන
නඩේ නිවස දියවන්නාවෙන් පිටින
හැඩේකට දිඟිල්ලා ගෙන යන ගමන
මහින්දට පිටින් වෙන කවුරුද කරණ